(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දේශීය වෙදකමට මුල් තැන දෙන නැන්දම්මා කෂායක් සැකසීම සදහා පොළෙන් මිලදී ගෙනා වෙනිවැල් ගැට කැබලි ලිපට දැමූ ලේලියක පිළිබඳ පුවතක් නිට්ටඹුවට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.

තිදරු මවකි. දරු තිදෙනාම විවාහකය. සියල්ලෝම පදිංචිය මහ ගෙදරය. ගෙදර විය පැහැදම් පිරිමසන්නේ මවය. සති අන්තයේ ඇය පොළට ගියේ ලොකු පුතා සමගය. සතියකට අවැසි කළමනා මිලදී ගත් මව වෙනිවැල්ගැට කැබලි කිහිපයක්ද මිලදී ගත්තේ අවශ්‍ය විටක තම්බා බීම සඳහාය.
ගෙදර ගෙනා එළවළු අස්පස් කළ මව වෙනිවැල්ගැට කැබලි මේසය මත තිබ්බේ පසුව වෙනත් තැනකින් තියන අදහසිනි. පැය කිහිපයකට පසුව කුස්සියට ආ මව වෙනිවැල්ගැට කැබලි සෙව්වාය. ඒවා නැත. ඇය ලේලියන් ගෙන් විමසද්දී බාල ලේලිය පැවසුවේ අම්මේ පොඩි දර කෑලි ටිකක් මේසේ උඩ තිබුණා. මම ඒවා ලිපට දැම්මා කියාය. වෙනිවැල් ගැටත් දරත් අඳුනන්නේ නැති උඹලා මගේ අත පයත් ලිපට දාන දවස වැඩි ඈතක නැතැයි කියා බැන වදිද්දී අසල්වැසියන්ටද මේ සියල්ල දැන ගන්නට ලැබිණි.

