නැන්දම්මාගේ මාලය උකස්කර බූරු ගසා දිනුවැයි බිරියට 30000 ක් දීලා


රාස්සගල සම්පත් ප්‍රියනන්දන


නැන්දම්මාගේ රන්මාලය උකස් කර ලබාගත් මුදලකින් රුපියල් පන්දහක් වැයකර හිතවතෙකු සමග පාටියක් දමා ඉතිරි තිස්දහසක මුදලක් බූරුවා ගසා දිනුවා යැයි පවසමින් බිරියට ගෙනත් දී බිරිය සතුටු කළ සැමියකු පිළිබඳව අපූරු පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමේ දී වැඩිදුරටත් මෙසේ දැනගන්නට ලැබිණි.

බළන්ගොඩ ප්‍රදේශයේ ගම්මානයක පදිංචි සැමියකු එයට ගම්මාන කිහිපයක් දුරින් ජීවත් වෙන නැන්දම්මාගේ නිවෙසට ගොස් බිරියට උත්සව ගෙදරකට පැළඳගෙන යෑම සඳහා රන් මාලය රැගෙන එන ලෙස දැන්නුවා යැයි නැන්දම්මාට පවසා තිබේ. අනේ පුතේ රත්තරන් බඩුවක් කියලා මෙච්චරමයි තියෙන්නේ දුව ඉල්ලු‍වාම නොදී ඉන්න බැහැනේ ඔන්න එහෙනම් අරන් ගිහින් පරෙස්සම් කරල ආය මටම ගෙනත් දෙන්න යැයි පවසමින් නැන්දම්මා රන් මාලය බෑනාගේ අතටම දී ඇත.

ඔහු එම රන් මාලය රැගෙන විත් පොලියට මුදල් ලබා දෙන පුද්ගලයකු ළඟ තබා රුපියල් තිස්පන්දහසක මුදලක් ලබාගෙන තිබේ. පසුව ඔහුගේ හිතවතකු සමග රුපියල් පන්දහසකට ආසන්න මුදලක් වියදම් කර හිතවතා සමග මත්පැන් පානය කරමින් පාටියක් දැමූ බව ද කියති.

සතියකට පසුව බිරියගේ මව දුරකතන ඇමතුමක් ගෙන බිරියට පවසා ඇත්තේ දුවේ උස්සව ගෙදරට ගිහින් ආවනම් මගේ රන් මාලය ඉක්මනට නැවත ගෙනත් දෙන ලෙසයි. මෙය අසා සිටි සැමියාට දෙලෝ රත්විය.