නැතිවූ මාලය සොයා දුන්නාට කැමරාවට වැඳලා


පෙර පාසලකට දරුවෙක් ගෙන ආ මවකගේ නැති වූ රන් මාලය අසල ඇති ආයතනයක කැමරා දර්ශන ඔස්සේ සොයාගත් පුවතක් පසුගියදා නයිනමඩම ප‍්‍රදේශයෙන් වාර්තා විය. සතියේ දිනක ඉතා කලබලයෙන් ති‍්‍රරෝද රථයකින් පැමිණි මවක් තම දරුවා පෙර පාසලට දමා නිවසට ගොස් බලන විට තමන්ගේ ගෙල බැඳි රන් මාලය නොමැති බව දැක නැවතත් පෙර පාසලට පැමිණ පරීක්ෂා කළත් එහි නොමැති බව දැක පෙර පාසල් භුමියේ වැටෙන්නට ඇතැයි තිබූ සැකය මත එහි පරීක්ෂා කළත් හමුවී නොමැත.

මෙම අවස්ථාවේ පෙර පාසලට වෑන් රථයකින් දරුවන් රැගෙන එන කාන්තාවක් දැක මාලයක් බිම වැටී තිබෙනවා දුටුවා දැයි විමසා ඇත. එහිදී එම කාන්තාව එහෙම දෙයක් නම් දැක්කේ නෑ. ඒත් එම ස්ථානයෙන් කීපදෙනෙක්ම ගියා. ඒ අයගෙන් අහන්නැයි කියා පිටව ගොස් ඇත. මාලය ගැන කිසිදු හෝඩුවාවක් නොමැති නිසා මාලය එම ස්ථානයේම වැටෙන්නට ඇතැයි තිබූ සැකය නිසාත් පෙර පාසල ආසන්නයේම ඇති හිතවතකුගේ ආයතනයක තිබූ සී.සී.ටී.වී. කැමරාවක් පරීක්ෂා කිරීමේ දී මාලයක් නොදුටු බව පැවසූ කාන්තාව බිමට පහත් වී යමක් ගන්නවා දැක ඇති අතර ඉතා අපහසුවෙන් ඇය ඉන්න ස්ථානය සොයාගෙන ගොස් මේ ගැන නැවත විමසීමක් කළත් එය ප‍්‍රතික්ෂේප කර ඇත. කැමරාවේ දර්ශන හා පොලිසියට යන බව පැවසීමෙන් පසු කලබලයට පත්වූ ඇය ඔව් මාලයක් හම්බවුණා. ඒක පෙර පාසලේ කාර්යාලයට දෙන්න හිටියේ කියා පවසා ඇති අතර පොලිසියට නොගොස් තම ගැටලූව විසඳා දුන්නැයි මාලයේ හිමිකාරිය සී.සී.ටී.වී. කැමරාවට පින්දෙන බව වාර්තා විය.