කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
නැටුම් කාමරයේ බෙරවලින් නැටුම් ගුරුවරිය නටමින් සිටි අමුතුම නැටුම විදුහල්පතිගේ අතටම හසුව දැන් විදුහල්පතිගේ පදයට නටන පුවතක් කරන්දෙණිය පැත්තේ පාසලකින් අසන්නට ලැබේ.
නැටුම් කාමරයේ බෙර තිබෙන්නේ නැටුම් ඉගෙන ගන්නා සිසු, සිසුවියන්ට නටන්නය. නැතහොත් බෙර වාදන ඉගෙන ගන්නා සිසු, සිසුවියන්ට බෙර පද වාදනය කරන්නටය. ගුරුවරිය සිටියේ මේ දෙආකාරයම ළමයින්ට ඉගැන්වීමටය. මේ දෙකම කරන අතර මේ ගුරුවරිය නැටුම් කාමරයේ බෙරවලින් අමුතුම නැටුමක් නැටුවාය.
නැටුම් ගුරුවරියගේ මේ අමුතු නැටුම ගැන පාසල් පරිපාලන විදුහල්පතිවරයාට ද කනින්කොනින් දැන ගන්නට ලැබිණ. සිය නැටුම් කාමරයේ ඇති බෙර කැඩී ඇති නිසා ළමයින්ට නැටුම් ඉගැන්වීමට අපහසු බව නැටුම් ගුරුවරිය විදුහල්පතිවරයාට කියන්නේ මේ අතර වාරයේය. විදුහල්පතිවරයා ද ඒ සමගම නැටුම් කාමරයට යන්නේ එහි ඇත්ත නැත්ත බැලීමටය.
හා කොයි ඒවද කැඩිච්ච බෙර කෝවද හොඳ බෙර යැයි විදුහල්පතිවරයා නැටුම් ගුරුවරියගෙන් ඇසුවේය. ඇය කැඩිච්ච බෙරයයි කියූ බෙර තොගයකුත් හොඳ ඒවා කියූ තොගයකුත් විදුහල්පතිවරයාට පෙන්නුවේය. හා මිස් එහෙනම් කැඩිච්ච බෙර ටික හදන්න දෙන්නකෝ මම බිල ගෙවන්නම් යයි නැටුම් ගුරුවරියට කීවාය. පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය ගුරුවරිය පසු දිනම කැඩිච්ච බෙර හදන්න දෙන්නම් යයි විදුහල්පතිවරයාට කීවාය. දින ගණනාවකට පසු නැටුම් ගුරුවරිය යළිත් විදුහල්පති කාමරයට ආවාය. ඒ කැඩිච්ච බෙර තොගය සෑදූ බව කියන්නටය.
ඒ සඳහා ගිය වියදම සහිත බිලක් ද සමගමය. බිල බැලූ විදුහල්පතිගේ කේන්තියේ බිලද ඉහළ ගියේය. කෝ බලන්න මිස් හැදූ බෙර ටික යයි විදුහල්පති ඇසූවිට ගුරුවරිය නැටුම් කාමරයට විදුහල්පති සමග ගොස් හැදුවා යයි කියන බෙර ටික ඔහුට පෙන්නුවාය.
තමාට එදා නොකැඩුණු ඒවා යයි කියා පෙන්වූ බෙර තොගයත් සාදා ඇතැයි කියන බෙර ගොඩේය. ගුරුවරිය හොඳ බෙරත් කැඩුණු ගොඩට දමා හොඳ බෙර පදයක් නටා ඇති බව දුටු විදුහල්පතිවරයාට හොඳ හොඳ වන්නම් කටට ආවේය. ඒ වන්නම් කිය කියා විදුහල්පතිවරයා උඩට බිමට පනිමින් හොඳ නැටුමක් නැටුම් කාමරයේදී නැටුවේ මීට පස්සේ මේ වගේ නැටුම් නටා අසුවුණොතින් රැකියාවත් නැතිවේ යයි කියමින්ලු.