නැටුම විනාඩි 3යි: චූර්ණිකාව 10යි: දේශපාලකට නගී


(තිහගොඩ උපසේන ලියනගම)
රැස්වීමක ප්‍රධාන ආරාධිතයාගේ ප්‍රකාශයකින් හොල්මන් වූ නිවේදකයකු පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දෙවියන් අරක්ගත් අඩවියකිනි.


ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයකට වසර සියයක් පිරීම නිමිතිකොට පැවැති මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ප්‍රදේශයේ දේශපාලන බලධාරියෙකි. එම රැස්වීම මෙහෙය වූයේ තරුණ කොලු ගැටයෙකි.


රැස්වීම අනවශ්‍ය පරිදි දිගට ඇදීයාම නිසා දේශපාලන බලධාරියාට තරමක කෝපයක් ඇති වුවද ඔහු සිය දේශනය කෙටියෙන් පවත්වා අවසානයේ පැවැති තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය. ඒ අතරතුර තම සේවකයකු මගින් නිවේදකයා තමා වෙතට කැඳවනු ලැබුවේය.


ඇයි සර් නිවේදකයා විමසීය


ඔයාට විශේෂ තෑග්ගක් දෙන්න වටිනවා.


බොහොම ස්තුතියි සර් නිවේදකයා ප්‍රීති ප්‍රමෝදයට පත්විය.


මොකක්ද දන්නවද තෑග්ග හොඳට වෙලාවට දුවන අත් ඔරලෝසුවක්.


ඇයි සර් ඔහු යළි ඇසීය.


තමුන්ට වෙලාව ගැන කිසිම හැඟීමක් නෑ. මම දැක්ක ළමයෙකුගෙ නැටුම විනාඩි තුනයි. නමුත් විනාඩි දහයකටත් වඩා ඒ ගැන විස්තර කියෙව්වා. දේශපාලන බලධාරියා කීවෙන් ඔහු අන්ද මන්දවී සෙනඟ අතර සැඟවුණාලු.