(උණවටුන ඩී. ජී. සුගතපාල)
මුහුදේ නාවන්නට ගෙනෙන ලද සුනඛයකුගේ ඉවෙන් වෙරළේ වළදමා
තිබූ අත් බෝම්බයක් සොයාගැනීමේ පුවතක් රත්ගම පොලිසියෙන් වාර්තා විය. එම ප්‍රදේශයේ තරුණයින් කිහිපදෙනෙකු රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ දිය නෑමට පැමිණ ඇති අතර එක් අයෙකු නිවසේ ඇතිකරන බල්ලා ද රැගෙන පැමිණ තිබේ.
වෙරළට පැමිණි ඔවුන් බල්ලා පොල්පැළයක ගැටගසා මුහුදට බැස ඇත. මේ අතර බල්ලා ලැගීමට වැලි හාරමින් සිටියදී මතුවූ බෝලයක් වැනි යමක් සමග සෙල්ලම් කිරීමට පටන්ගෙන තිබේ. ගොඩට පැමිණි තරුණයින් බල්ලා සෙල්ලම් කරන්නේ කුමක් සමග දැයි සොයා බැලීමේදී එය බෝලයක් නොවන බව දැනගෙන පොලිසියට දැනුම්දී ඇත. පසුව පොලිසිය පැමිණ එය අත් බෝම්බයක් බව හැඳිනගැනීමෙන් පසු බූස්ස හමුදා කඳවුරේ බෝම්බ නිශ්ක්‍රිය අංශයට දැන්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව බෝම්බ නිශ්ක්‍රිය අංශයේ නිලධාරීහු පැමිණ එය නිශ්ක්‍රිය කළහ. මෙම බෝම්බය කුමන අරමුණක් සඳහා ගෙනැවිත් වෙරළේ සඟවා තබන්නට ඇද්ද යන්න පිළිබඳව රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

