දොස්තර ගෙදර නැතිවෙලේ බිරිය අපූරු බේතක් දීලා


(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
උණ හා කැස්ස හිසරදය වැළඳුණු රෝගියකු ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයකු හමුවට ගිය අවස්ථාවේ ඔහු කළ අරුම පුදුම ප්‍රතිකාර ලබාදීමක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ දුෂ්කර ප්‍රදේශයකින් වාර්තා වේ.


 ග්‍රාමීය පෙදෙසක ජීවත්වන තම ඥාතියකුගේ සුවදුක් බැලීමට ගිය තරුණයකු මෙලෙස අසනීපව ප්‍රතිකාර ගැනීමට ගොස් ඇත. මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර කරන්නේ තම නිවසේ දීය. එදින වෛද්‍යවරයා බැහැරට ගොස් සිටි අතර ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිටි අතර බෙහෙත් ගැනීමට පැමිණි තරුණයා වෙද නළාව ද තබමින් පරීක්ෂා කළ වෛද්‍යවරයාගේ බිරිඳ බටහිර ඖෂධ වර්ග පහක් පමණ ලබා දී රුපියල් පන්සියයක මුදලක් ද ලබාගෙන ඇත.


බෙහෙත් රැගෙන ඥාති නිවසට ගියපසු ප්‍රතිකාර ලබාගත් ස්ථානය පිළිබඳව ඥාතීන් විමසා සිටි අතර තරුණයා සියලු විස්තර පවසා තිබේ. තරුණයාගේ කතාවට සවන් දුන් ඥාතීන්ට උන්හිටි තැන් ද අමතක විය. එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර කරනු ලබන්නේ ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහුගේ බිරිඳ වෛද්‍යවරියක් ද නොවන අතර ඇය සාමාන්‍ය කාන්තාවක් වේ.


එම ස්ථානයෙන් ලබා දුන් බෙහෙත් ද රැගෙන වහාම වෙනත් වෛද්‍යවරයකු හමුවූ නිවැසියන් ලබා දී තිබූ ඖෂධ පිළිබඳව විමසා ඇති අතර ඒවා විටමින් හා වේදනා නාශක ඖෂධ වර්ග කිහිපයක් බව එම වෛද්‍යවරයා පවසා ඇති බව ද පැවසේ. පිරිස නැවත එම වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ප්‍රතිකාර කිරීම පිළිබඳව වෛද්‍යවරයා හමුවී පිරිස ප්‍රශ්න කර ඇති අතර සිද්ධිය කිසිවකුට නොපවසන ලෙස වෛද්‍යවරයා බැගෑපත් වී මුදල් ද නැවත ලබාදී ඇතැයි ද පැවසේ.