ගල්ගමුව ඇන්.ජේ. පතිරාජ
පොලිස් නිලධාරියකුගේ සහෝදරයකු සමඟ දොඩම් සොරකමේ ගිය අයකු අල්ලා පොලීසියට බාර දුන් පසු හොරට කැඩු දොඩම් තොගය කසිප්පු බෝතල් භාගයක් වීමේ අරුම පුදුම සිද්ධියක් වයඹ පළාතේ කෙළවරක පිහිටි පොලිස් ස්ථානයකින් දැන ගැනීමට ලැබෙයි.
මෙම ප්‍රදේශයේ පවතින්නේ කර්කශ දේශගුණයකි. ඒ නිසාම මෙම ප්‍රදේශයේ ගොවීහු බොහෝ දෙනෙක් ඔරොත්තු දෙන දොඩම් වගාවට යොමුව සිටිති. ගෙවතුවල මෙන්ම හේන්වල ද මේ වගාව සිදු කරති .
මෙම ගොවි මහතා ද සිය හේනක දොඩම් වගාවක් ආරම්භ කළ අතර දොඩම් පැළ ද සරුවට වැඩුණේය. පලදාව ද සරුවිය. ඒ නිසාම වගාව දෙස ගොවි මහතාගේ අවධානය නිතරම යොමුව තිබිණ .
දිනක් හවස වගා බිම දෙසට යද්දී ඊට දෙදෙනෙකු ඇතුළු වී දොඩම් ගෙඩි කඩමින් සිටින බව ගොවි මහතා දුටුවේය. ගොවි මහතා පැමිණෙන බව දුටු එක් දොඩම් සොරෙකු පලා ගියත් ඔහු හඳුනා ගැනීමට ගොවි මහතාට හැකි විය. ඔහු ප්‍රදේශයේ පොලිස්ස්ථානයේ සේවය කරන නිලධාරියකුගේ සහෝදරයකි.
පලා යාමට නොහැකි වූ පුද්ගලයා අල්ලා ගත් ගොවි මහතා හොරට කැඩු දොඩම් තොගය ද සමඟ පොලිසියට බාර දීමට කටයුතු කළ අතර පලා ගිය අය පිළිබඳව ද තොරතුරු දැනුම් දුන්නේ ය.
එහෙත් පලා ගිය දොඩම් සොරා පොලිස් පොතෙන් ලිස්සා හැරීමට කටයුතු කොට අනෙක් දොඩම් සොරාට නීති විරෝධි මත්පැන් බෝතල් භාගයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත නඩු පැවරීමට පොලිසිය කටයුතු කොට තිබේ.