කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
වැඩසටහනකට පැමිණි දේශකයාගේ සනුහරේම අනාරාධනයෙන් තේ මේසයට ගොස් බඩ කට පිරෙන්න කෑමෙන් එහි ප්‍රධාන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීමට නොහැකිව සංවිධායකයන් අලි අමාරුවක වැටුණු පුවතක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
වැඩසටහන තිබුණේ නගරයේ රැස්වීම් ශාලාවකය. එහි මුල්ම දේශනයට සහභාගි වී සිටියේ නගරයේම අයෙකි. ඔහු ඒ සඳහා පැමිණ සිටියේ සිය සනුහරේම සමගය. දේශනය අවසානයේ දී සංවිධායකයෝ ඔහුට තේ බීමට එන ලෙස ඉල්ලා සිටියේය. සංවිධායකයන් සිතුවේ ඔහු සමග ඇවිත් ඇත්තේ දෙතුන් දෙනකු කියාය.
එහෙත් කට්ටිය විස්සකට විසිපහකට වැඩිය. සංවිධායකයන්ගේ දෙඇස් උඩ ගියේය. ඔවුනට කර කියා ගන්නට කිසිම දෙයක් නොතිබිණ. දේශකයා ඒ වනවිටත් සිය සනුහරේ අය සමග පිළිසඳරේ යෙදෙමින් තේ මේසයම ඉවරකර තිබුණේය.
ආරාධිතයන් විසිපහකට පමණ සූදානම් කොට තිබූ මේ තේ මේසය මුල්ම දේශකයා සහ ඔහුගේ නෑ පරපුර විසින් සහමුලින්ම භුක්ති විඳ තිබුණේ අනෙක් ආරාධිතයන්ට හුළං පමණක් ඉතිරි කරමිනි.
මෙයින් කලබයට පත්වූ සංවිධායකයන් ප්‍රදේශයේ දේශපාලන බලවතා ඇතුළු පිරිසට බිස්කට්වලින් තේ මේසයක් ලෑස්ති කර දුන්නේ දේශකයාගේ අම්ම තාත්තා මෙන්ම සනුහරේටම දෙස් දොවොල් තබමිනි.