පූජාවට තැබීමට ගෙනඑන පූජාවට්ටියේ තිබෙන පළතුරු වර්ග සොරකම් කරන අයකු අල්ලාදුන් අයුරු දෙවියකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ දේවාලයකින් වාර්තාවේ. මේ ස්ථානයට දිවයිනේ නොයෙක් නොයෙක් ප‍්‍රදේශවලින් පිරිස පැමිණෙති.
ඒ ශාන්ති කර්ම ඇතුළු අනෙකුත් දේවකාර්යයන් කර ගැනීමටය. සමහරු මෙහි පූජාවට්ටි තැබීමටද එති. සමහර දිනවලදී පූජාවට තැබීමට ගෙනඑන පූජාවට්ටිවල මිදි, ඇපල්, දොඩම් වැනි පළතුරුවර්ග සොරකම්කරනුයේ පූජාවට්ටි දෙවියන්ට පූජා කිරීමටත් පෙරය.
ඒ පූජාවට්ටිය සකස් කරන ස්ථානයේ තබා තිබෙන විටදීය. මේ පූජාවට්ටිවලින් පළතුරු සොරකම් කිරීම පිළිබඳව පැමිණිලි එම දේවාලය භාර කපුමහතාට ලැබුණේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. එදාද පූජාවට්ටියේ තිබූ පළතුරු සොරකම් කොට තිබුණි. එයට වහාම ක‍්‍රියාත්මකවූ කපු මහතා දේවාලය තුළ ඔහුට වෙන්වූ කාමරයට ගොස් ටික වේලාවකින් සිය ගෝලයා සමඟ එළියට පැමිණියේ දේවආරූඩයකින්ය.
තම ස්වාමියාට අසවල් දෙවියා ආරූඩ වෙලායයි ගෝලයා එතනසිටි සියලූදෙනාටම ඇසෙනසේ කීය. පූජාවට්ටියේ තිබූ පළතුරු සොරකම් කළ අය එම දෙවියා කපුමහතාට පෙන්වාදී ඇති බවත් ඒ අනුව දැන් ඔහු අල්ලාගන්නා බවත් ඔහු කීවේය. සෑම දෙනා බලාගෙන සිටියදීම ආරූඩවූ කපු මහතා මැදිවයසේ එක් පුද්ගලයකු ළඟට ගොස් ඔහුගේ ගමන් මල්ලේ තිබී පූජාවට්ටියෙන් සොරකම් කරන ලද මිදි වල්ලක් ගත්තේ හැමෝම මවිතයට පත්කරවමින්ය. කපුවාගේ මේ වැඩෙන් එතන සිටි සැමදෙනාම මේ දේවාලයේ ඇති අනුහස් ගැන මහ ඉහළින්ම කතා කරන්නට වූහ.
ඒ වාගේම මේ සොරකම අල්ලාගත් කපුවා ගැනත් ඔවුහු බොහෝ පැහැදීමකින් කථා කළෝය. මේ අතරතුරේදී මේ දේවාල භූමියේ සිටි කපුවාගේ ගෝලයාගේ හිතවතකු ඔහුට කිට්ටුකර තිබී නියමයිනේ ඔයාගේ කපු මහත්තයාගේ වැඩ, මෙතන ලොකු අනුහස් තැනක් තියෙන පාටයි ඔහු කීවේය. එක් ඇසක් ගසා කට පියාගෙන සිටීමට බැරිවූ ගෝලයා ඔහුගේ කනට කර කීවේ මේ ගැන කාටවත් එහෙම කියන්න එපා අපේ කපුමහතාට මේ වැඩයට ගොඩක්ම උදව් කළේ සීසීටීවී කැමරා දෙවියා තමා යයි ඇඟට පතට නොදැනී මෙය කීවේ, ඔහු මේ රහස රකීවී යන විශ්වාසය නිසාය.
එහෙත් ඔහු එය නොරැුක්ක අතර මේ දේවාලවයට සීසීටීවී කැමරා පද්ධතියක් සවිකර ඇති බව බොහෝ අය දැනගත්තේ මේ සිදුවීමෙන් පසුව.

