දේව මෑණියන්ගේ අපූරු හොරකම කැමරාවෙන් එළියට


(වැල්ලවාය - අයි.ආර්. ඉන්දික) 
දේව මෑණියන්ගේ ෆෝන් කාඞ් හොරකම සීසීටීවී කැමරාවෙන් හසු වූ පුවතක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම දේවාලය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයක් ආසන්නයේය. ගමේ පිරිස් මේ දේවාලයෙන් එතරම් වැඩක් ගත්තේ නැතත් පිට ගම්වලින් වැඩ කරගන්නට එන පිරිස විශාලය. ඒ නිසා අතමිටත් ගජරාමෙට සරුය. තම නිවස ඉදිරිපිට ඇති වෙළඳසලට දිනක් යන මෙම දේව මෑණියෝ එම වෙළෙඳසලේ සිටි අයගෙන් නිවසට අවැසි කළමනා ඉල්ලති. 


ඒවා ලබාදෙන අතරතුර මේසය මත තිබූ රුපියල් විසි දහසක් පමණ වටිනා දුරකතන කාඞ්පත් තොගයක් තම ඉනේ සඟවාගන්නා අතර භාණ්ඩ රැගෙන යළි නිවස බලා ඇය යන්නේ කිසිවක් නොවූ පරිදිය. 


දුරකතන කාඞ්පත් නැති වී ඇති බව වෙළෙඳසල් හිමිකරු දැනගන්නේ ටික වේලාවක් ගිය පසුය. කවුරුන් සොරා ගත්තා දැයි දැනගැනීමට මඟක් නොමැතිව සිටින අතරතුර තම සීසීටීවී කැමරා පද්ධතිය සිහිවන්නේ එක්වරමය. වහාම එය පරීක්ෂා කිරීමට තම පුතාට අඬ ගසා එය බලනවිට පෙනී යන්නේ මීට මොහොතකට පෙර වෙළෙඳසල ඉදිරිපිට පදිංචි දේව මෑණියන් පැමිණ භාණ්ඩ ලබාදෙන අතරතුර කාඞ් පත් සොරා ගන්නා අයුරු එහි මනාව තිබෙන අයුරුය. 


කිසිවක් නොවූ පරිද්දෙන් නිවසට ගොස් ඒ පිළිබඳ විමසුවද තමන් කිසිවක් ගත්තේ නැතැයි ඇය කියා සිටින අතර කැමරාවේ සියල්ල පටිගත වී ඇති බවත් එසේ නම් තමන් පොලිසි යන බවත් වෙළෙඳසල් හිමිකරු කියා සිටි. පවුලේ අනෙක් සාමාජිකයින් ද ඒ අවස්ථාවේ බැගෑපත් වෙමින් පොලිසි නොයන ලෙස පවසන අතර නිවසේ ඇඳේ මෙට්ටය යට සඟවා තිබූ කාඞ් පත් කොළය ගෙනැවිත් දෙන්නේ තමන් සිදු කළ සොරකම අතේ පත්තු වීම නිසාය. මේ ගැන කිසිවෙකුටත් නොකියන ලෙස පවුලේ උදවිය වෙළෙඳසල් හිමිකරුට පැවසුවද ඔහු කඩයට එන දන්න හඳුනන හැමෝටම මේ දේව මෑණියන්ගේ කාඞ් සෙල්ලම ගැන හරි අපූරුවට කියනවාලු.