ස්මාර්ට් ජංගම දුරකතන තුනක් සොරාගෙන පළා ගිය තරුණයකු පොලිස් නිලධාරිණියක විසින් පෙම්බස් දොඩා භාණ්ඩත් සමඟ අත්අඩංගුවට ගනු ලැබීමේ සිද්ධියක් අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධිය සැකවින් මෙසේය.
තරුණයන් තිදෙනකු අවිස්සාවේල්ල නගරයේ නේවාසිකාගාරයක ලැගුම් ගෙන සිට ඇත. ඔවුහූ එම නගරයේ වෙළෙඳ සලක සේවකයෝ වෙති. වෙනත් වෙළෙඳ ආයතනයක සේවයකු ද තාවකාලිකව මෙම නේවාසිකාගාරයේ නතර වී ඇත. නේවාසිකව නතර වී සිටි තිදෙනා පිටතට යන අවස්ථාවක නේවාසිකව තාවකාලික ලැගුම් ගෙන සිටි තරුණයා ජංගම දුරකතන තුන සොරාගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසියේ පොලිස් පොතේ ද සටහන්ව තිබිණි. ලද දුරකතනයක් අනුව එම පොලිසියේ පොලිස් නිලධාරිණියක් සැකකරුගේ ජංගම දුරකතනයට ඇමැතීම් කීපයක් ගත්තාය. එහෙත් කිසිම ප‍්‍රතිචාරයක් එයින් නොලැබිණි. පසුව ගන්නා ලද ඇමතුමක් ඔහු හා ඈ දුරකතන සංවාදවලට සම්බන්ධ වී තිබේ. ඇයට දුරකතනය තුළින් පෙම්වතුන් බවට පත්වීමට වැඩි දින ගණනාවක් ගත වී නැත.
‘‘අනේ පෙම්වතෙක් නැතුව සිටි මට පෙම්වතෙක් ලැබුණා යැයි ඕ වරෙක පැවසූවාය.”
”අනේ ඔයා මා බලන්න කවදද එන්නේ.’’ ඇය ඔහුගෙන් වරෙක ඇසුවාය. ‘‘අනේ පැටියෝ හෙටම එනවා අවිස්සාවේල්ලට’’ ඒ ඔහුගෙන් ලද පිළිතුරයි. එම පිළිතුර දී පසුදින උදාවිය. නැවතත් ” පෙම්වතාගේ” ජංගම දුරකතනයෙන් ලැබුණේ මෙවැනි පණිවිඩයකි. මම අවිස්සාවේල්ලට ඇහැළියගොඩ බස් එකෙන් එනවා.
දැන් ගැටහැත්ත පාස් කරලා. කොහොම වුණත් පැය භාගයක් ඇතුළත අවිස්සාවේල්ල බස් නැවතුමට එනවා. මම වාඩිවෙලා ඉන්නෙ බස් එකේ පසුපස ආසනයේ බව ද කියා ඇත. පොලිස් නිලධාරිණිය නේවාසිකාගාරයේ අයකු සමඟ බසයට ගොඩ වී සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ‘‘අනේ ඔයා’’ යැයි ඔහුගේ මුවින් පිට වී තිබේ.

