දිනය සෙනසුරාදා වූ බැවින් කාර්යාලීය දුම්රියවල වෙනදා මෙන් මගී තදබදය නොවුවත් බොහෝ මගීහු ප‍්‍රධාන මාර්ගයේ කොළඹ බලා යන දුම්රියේ සිටගෙන ගමන් කළහ. වේලාව පෙරවරු නමය පසු වූ විට අප ගමන් ගත් දුම්රිය රාගම පසුකළා පමණි.
එක් මගියකු ඉතා අමාරුවෙන් හිටගෙන සිටියදී ඒ අසළ වාඩිවී සිටි මැදියම් වියේ කාන්තාවක ‘‘මහත්තයා අමාරුවෙන් නේද’’ කියා අසමින් තම ආසනය පිරිනැමුවාය. අසුණේ වාඩි වූ මෙම මගියා ඉතා අපහසුවෙන් තම ජංගම දුරකථනයෙන් කාටදෝ මරදානට පැමිණෙන්න කියනු අවට අයට ඇසුනි. ගත වූයේ නිමේෂයකි. අසුනේ වාඩි වූ අවුරුදු 45ක පමණ පෙනුමැති මේ මගියාට ඇති වූ අපහසුතාව වැඩි වූ බැවින් ඔහුගේ රෝගී බව උත්සන්න විය.
අමාරුවෙන් තම පපුව රිදෙන බව අවට සිටි අයට පැවසුවෙන් සියල්ලෝම එකා වන්ව අසරණ ලෙස රෝගී වූ මෙම මගියාට උපකාර කිරීමට යුහුසුළු වූහ. අයෙක් පවන් සැලූ අතර තවත් අයකු වතුර ඉස කවුළු පියන් පත් විවර කර ඔහුට වාතාශ‍්‍රය ලබා දෙන්නටත් උපකාර කිරීමටත් කටයුතු කළහ. තවත් අයෙකු ඔහු අත තිබූ ජංගම දුරකථනයේ ඔහු කලින් කතා කළ පුද්ගලයාට කතාකොට රෝගියා ගැන විස්තර ඔහුට දැන්වීය.
ඒ අතරම මේ සියල්ල දෙස විමසිල්ලෙන් බලා සිටි තවත් තරුණ මහතෙක් ඔහුට ළං විය. වහාම රෝගියාගේ නාඩි පරීක්‍ෂාවද ඔහු ළඟ තිබූ බෙහෙත් පෙතිද විමර්ශනය කොට ඔහු ආසන්නයේම හිඳගෙන රෝගියාට ඇවැසි ප‍්‍රතිකාර සේම දුම්රිය මරදාන දුම්රියපළට ළඟාවන තෙක්ම ඔහු ළඟ රැුඳී සිටියේය. ළඟ සිටි කාන්තාවනට තමා වෛද්‍යවරයෙකු බව ඇඟවුවත් තමාගේ වෘත්තීය සුදුසුකම් රටට නොපෙන්වා අවැසි ප‍්‍රතිකර්ම යෙදුවේ මිහිපිට දෙවිවරු මෙවන් පොදු වාහනයක ගමන් කිරීම පොදු ජනතාව ලත් වාසනාවක් යයි මේ ලියන මට සිතුණු කාරණාවකි.
එවන් දෙවිවරුන් බඳු වෛද්‍යවරුන් තවත් ඇවැසිය. මන්ද මා සඳහන් කළ රෝගියා මරදාන දුම්රියපළ ළඟදී තම ගමානාන්තය අමතකකොට මේ තරුණ වෛද්‍යවරයා හා රැුඳෙමින් අවශ්‍ය උපදෙස් ඔහුගේ මිතුරන්ට දුන්නේ ගිලන් රිය පැමිණෙන තුරුය.

