මගීන්ගෙන් පිරුණු දුම්රියක් කැලණිය දුම්රිය ස්ථානයේ නැවැත්වීය.
”පළමු වැනි වේදිකාවට පැමිණි දුම්රිය මොරටුව බලා පිටත් වේ. දුම්රිය බම්බලපිටිය දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත. බම්බලපිටිය සිට නවත්වන්නේ රත්මලාන, මොරටුව” ඇල්මැරුණු කටහඬක් ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් ඇසිණි. මගීහු දුම්රියට ගොඩ වූහ. දුම්රියේ සිටි මගියෙක් දොරටුව හරස් කරමින් සිටිනු දුටු බිම සිටි මගියෙක් ” ඕයි යනවා ඇතුළට අපි යන්නේ නැද්දයි” පැවසීය.
” කාටද තමුසේ ඕයි කියන්නේ” අනෙකා විමසීය. ”තොට තමයි” පිළිතුරු ලැබිණි. ”හිටපන් උඹට මම” කියමින් දොරටුව හරස් කළ මගියා අනෙකාට ගසන්නට අත එසවීය. මගීහු දෙදෙනාව දෙපැත්තට කළහ. ”අරූ මට තෝ කිව්වා. ඕකාට මම බහිද්දි ගහනවා” මගියා පැවසීය.
”ගහපන් බලන්න. මමත් ගහනවා” අනෙකා පැවසූ විට, මැදිවියේ අයෙක් ”තෝ, තොපි කිව්වට ගණන් ගන්න එපා. තෝ, තා, තොපි ආමන්ත‍්‍රණය කරන්න යොදන වචන. රජ කාලේ නිතරම රජවරු පාවිච්චි කළා” යැයි පැවසීය.
”එහෙනම් මිනිහා රජෙක් වෙන්නැති” කෝපයෙන් සිටි මගියා පැවසූ විට අවට මගීහු සිනාසෙන්නට වූහ. ”මහත්තයා ගුරුවරයෙක්ද?” හෙතෙම විමසීය. ”ඔව් මම සිංහල ගුරුවරයෙක්. පුත තොප කොයිබට යන්නෙහිද?” ගුරුවරයා සිනාසෙමින් විමසීය. ”වැඩට යනවා සර්” පිළිතුර විය. ගැටුම නිමා විය.

