දුම්රිය ප‍්‍රවේශපත වෙනුවට කමිසය පූජාකරලා


ගම්පහ දුම්රිය ස්ථානය මගීන්ගෙන් පිරී ඉතිරී ගිය අවස්ථාවකි. දුම්රියට නැගීමට දඟලන මිනිසුන් පෙරළාගෙන උඩුකය නිරුවත්ව කඩා බිඳගෙන දුවන තරුණයෙකි. උදේ පාන්දර දුටු දසුනෙන් මගීන්ගේ කුතුහලය ඒ වෙතට යොමුවූයේ නිරායාසයෙනි. තරුණයා පණකඩාගෙන දුවයි. ජනතාව වටපිට බලයි. සිදුවූ දේ පැහැදිලි නොමැතිව මගීන් යායුතු ගමන නවත්වා තරුණයා දෙසත් අවට ප‍්‍රදේශය දෙසත් මාරුවෙන් මාරුවට බලයි. දුම්රිය ආරක්ෂක නිලධාරියෙක් පාට කමිසයක් අතේ තියාගෙන දුම්රිය වේදිකාවේ බඩගාමින් කෑ ගසයි. කොළඹ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ නැවැත්වූයේ ටික වෙලාවකට කලිනි. එම දුම්රියෙන් ආ මගීන් ගම්පහ දුම්රියෙන් බැස පිටතට යෑමට දුම්රිය ආරක්ෂා නිලධාරීන්ගේ පරීක්ෂාව යටතේ සිදුවන අතර ප‍්‍රවේශපත් නොමැතිව ආ තරුණයකුගෙන් ප‍්‍රවේශපත‍්‍ර ගැන විමසන විට ආරක්‍ෂක නිලධාරින්ගෙන් මිදී පලායෑමට කළ උත්සාහයේදී ආරක්ෂක නිලධාරියාට කමිසය පුදා උඩුකය නිරුවතින් දුවගොස් ඇති අතර තරුණයා අල්ලා ගැනීමට තැත් කළ ආරක්ෂක නිලධාරියාගේ අතට අසුවූ කමිසය සමඟ බිම වැටුණු පසු නැවත නැඟිට එම කමිසයෙන්ම ඇඟ දැවටුණු දූවිලි පිසදාගන්නා විට සිදුවූ කාරණය මගීන්ට වැටහිණි.