හිස් අතින් දානේ ගෙදරකට ගොස් ගෙහිමියාට තෑග්ගක් ලබාදී තමන්ම අපහසුතාවයට පත් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
නගරයෙන් දුර බැහැර පිහිටි තම ආයතනයෙහි ප්රධානියාගේ නිවසෙහි දානමය පිංකමකි. ආයතනයෙහි සියලු දෙනාටම එයට ආරාධනා කර තිබිණ. නිවාඩු දිනයක් වූ බැවින් සියලු දෙනාම එයට සහභාගී වීම සඳහා යොදා ගනු ලැබුයේ වෑන් රථයකිනි. ආයතනයේ ලිපිකරු මහතාගේ නිවස, දානමය පිංකම පැවැත්වෙන නිවසට යන මාර්ගයේ පිහිටි බැවින් ඔහු අතර මගදී පිරිසට එකතුවීමට තීරණය කෙරිණි.
කතිකා කර ගත් පරිදි නියමිත දින ගමනට පිටත් වූ ඔවුන් අතර මගදී ලිපිකරු මහතා ද රථයට නංවා ගැනිණ. කාලයකින් යන ගමනක් නිසා ඔවුන් විනෝද වෙමින් පිංකම පැවැත්වෙන නිවසට පැමිණෙන විට දානමය කටයුත්ත අවසන් වී ස්වාමීන් වහන්සේලා පන්සලට වැඩම කිරීමට සූදානම් වී තිබිණි.
නිවසට පැමිණි තම කාර්යාලයේ සහෝදර සේවක පිරිස සුහදව පිළිගන්නා අතර තුර තම තමන් ගෙන එන ලද තෑගි පාර්සල් ප්රධානියා අත තැබිණි. අතරමගදී ගමනට එක් වූ ලිපිකරු මහතාට තමන් කිසිවක් රැගෙන නොපැමිණි බව සිහිපත් වුයේ එවිටයි. මදක් කලබල වූ ඔහු වටපිට බලත්ම තමන් වාඩිවී සිටි තැනට යාබද පුටුවේ පාර්සලයක් තිබෙනු දැක එය හෙමිහිට අතට ගෙන මිතුරා අත තැබුයේ මද සිනහවක් ද ඇතිව ය.
ඉන් සුළු වේලාවකට පසුව එතනට පැමිණි අයකු කලබලයෙන් යමක් සොයමින් ඔහුගෙන් මෙතන මම පන්සලට ගෙන යාමට බත් පාර්සල් කිහිපයක් තිබ්බා. කවුරුවත් ගන්නවා දැක්කා දැයි ඔහුගෙන් ඇසුවේ සිතේ මතු වූ සැකය නිසාවෙනි. මින් තිගැස්සීමට පත් වූ ලිපිකරු මහතා, තමා විසින් මිතුරාට තෑගි දී තිබුණේ පන්සලට ගෙන යාමට සුදානම් කර තිබූ බත් පාර්සල් බව දැන ගැනීමෙන් මහත් ලැජ්ජාවට හා කලකිරීමට පත්ව, සිටි තැනම සිටියේ කළ යුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිව ය.
මේ බව කනින් කොනින් දැනගත් ආයතන ප්රධානියා පසු දිනෙක කාර්යාලයේ දී, විහිළුවට මෙන් පවසා තිබුණේ දානෙ ගෙදරට කිසියම් කෙනෙකු ආහාර පැකට් ගෙනවිත් තිබුණු බවයි. මේ ඇසුණු ප්රධාන ලිපිකරු එතනින් මාරු වූයේ පුහුල් හොරා කරෙන් දැනේ යන්න අනෙක් අයට සිහි ගන්වමිනි.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්