දානෙකට බඩු ගේන්න ඇවිත් මුදලාලි හාමිනේගේ කනෙන් රිංගලා


මහනුවර බොක්කාවල නගරයෙ වෙළෙඳ සලකට උදේ 7.00 ට පමණ පැමිණ ඇති වයස අවුරුදු 65 ක් පමණ වන පුද්ගලයකු දානයකට බව පවසමින් වෙළෙඳ සලේ හිමිකරුගේ භාර්යාවගෙන් රුපියල් 14,391කට සිල්ලර බඩු ලබාගෙන ඉතා සූක්ෂම ලෙස මුදල් නොගෙවා බඩුත් රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ. 

බොක්කාවල නගරයේ පිහිටි මෙම වෙළෙඳ සලට උදේ හතට පමණ පැමිණ ඇති මෙම පුද්ගලයා භාණ්ඩ ගත් ආකාරය සහ ඉතා සූක්ෂම ලෙස මුදල් නොගෙවා ඒවා පැහැර ගෙනගිය ආකාරය පිළිබඳව එම අවස්ථාවේ වෙළෙඳ සලේ සිටි සී.එම්.කේ. ඒකනායක මහත්මිය මෙසේ කීවාය. ‘‘වෙළෙඳ සල ඇරල ටික වේලාවක් යද්දී උදේ හතට විතර පැමිණි අවුරුදු හැටක විතර පුද්ගලයෙක් අල තිබෙනවාදැයි ඇහුවා. මම එවිට ඔව් කියල කිව්වා.

ඒ අවස්ථාවේ ඔහු තව ටිකකින් එන්නම් කියා ගොස් විනාඩි කිහිපයකින් ඇවිත් මේ බඩු දාන්න කියලා තුණ්ඩුවක් දුන්නා. ඒ අනුව මම බඩු කිරල දුන්නා. ඒ අවස්ථාවේ ඔහු බඩු තිබුණ වගේ දැනුන පොහොර මල්ලකුත් අරන් ඇවිත් තිබුණා. ඒකේ මොනවද කියල ඇහුවහම වෙන බඩු වගයක් කියල කිව්වා. මේ බඩු මොකටද කියලත් මම ඇහුවා.

පස්සේ දානයකට කියල කිව්වා. ඒ අනුව කිසිම ආකාරයකින් මම සැක හිතන්නෙ නැතිව බඩු කිරල දුන්නා. බඩු කිරල ඉවර වනවත් සමඟම ඔහු කිව්වා ගාන හදන්න කියලා. තුණ්ඩුව දිග හන්දා ගාන හදන්න ටික වේලාවක් ගියා. මම බඩු මලූවලට දාන්න හැදුවත් පොඩිවන හින්දා මම දාගන්නම් කියලා ඔහු දැම්මා. ඒ අතරතුර මම බිල හැදුවා.

ඒ අවස්ථාවේ මොහු පොහොර මලූ දෙකකට බඩු ඇසුරුවා දැක්කා. පසුව ඒ මලූත් එම ස්ථානයේම තිබුණා. මම ගණන් හදන අතරතුර ඔහු ගෙනත් තිබුණ මල්ලක් උස්සගෙන ගණන් හදනකම් තේකක් බීල එන්නම් කියා ගියා. බඩු ඇසුරූ මලූ දෙකත් එතැන තිබුණා. ඒ නිසා මම සැක හිතුවේ නෑ. දහවල් 12 වන තුරු ඔහු ආවේ නෑ. පස්සේ මහත්තයා ආවට පස්සේ තියල තිබුණ මලූ බැලූවහම තමයි ඉහමොළ රත් වුණේ. ඒ මලූවල තිබුණේ නරක් වූ එළවළු විතරයි. අනේ ඔක්කොම බඩු ටික ඔහු අරන් ගොස් තිබුණා. ඉතිරි කරල තිබුණ බඩුවල වටිනාකම රුපියල් 1000-1500 ක් විතර ඇති.

අනෙක් සේරම බඩු ඔහු අරන් ගිහින් යැයි ද ඇය කීවාය. ඔහු විසින් බඩු ලබා ගැනීම සඳහා ලබාදුන් තුණ්ඩුවේ ලැබුණු මුදල් රුපියල් 25,000 ක් ලෙස සඳහන් කර ඇති අතර එය වෙළෙඳ සල් හිමියන් නොමග යැවීම සඳහා ලියන්නට ඇති බවත් ඔවූහු විශ්වාස කරති.