දරුවාගේ පිළිතුරෙන් නිවේදිකාවත්, මවත් හොල්මන්


(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
ගුවන් විදුලි ළමා ගීත ගායනා වැඩසටහනකදී නිවේදිකාව පෙරපාසල් දරුවෙකුගෙන් ඇසූ පැනයට දුන් පිළිතුරින් නිවේදිකාව මෙන්ම දරුවාගේ මවද අන්දමන්ද වීමේ පුවතක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය.


ග්‍රාමීය ප්‍රදේශයක පෙරපාසලක පාලිකාව ගුවන් විදුලි සේවයක ළමා ගීත ගායනා වැඩසටහනකට තමාගේ පෙරපාසලේ දරුවන්ද රැගෙන ගියේ ඔවුන්ගේ මව්පියන්ද සමගය.


දරුවන් මෙන්ම මව්පියන්ද මෙම ගමනට එක්වූයේ මහත් සතුටිනි. ජීවිතයේ පළමු වරට තමාගේ දරුවාට ගුවන් විදුලියෙන් ගීතයක් ගායනා කිරීමට ලැබීම පිළිබඳව මව්පියන් පසුවූයේ මහත් අභිමානයෙනි. ඔවුන් පුල පුලා බලා සිටි ළමා ගීත ගායනා වැඩසටහන පටිගත කිරීම ආරම්භ විය. නිවේදිකාව එක් මැදිරියක සිට දරුවන් ලවා ගීත ගායනා කරවයි. අනෙක් පස වීදුරුවෙන් එහා සිට මව්පියෝ එය නරඹති.


නිවේදිකාව දරුවන් ළඟට ගනිමින් ඔවුන් සමගද කථා බහ කරමින් ගීත ගායනා කරවීමේ නිරතව සිටී. මීළඟට මයික්‍රොෆෝනය ළඟට ආවේ කටකාර කොලු පැටියෙකි. නිවේදිකාව ද දරුවාගේ නම, ගම, ආගිය විස්තර කතා කරමින් සිටී


“හරි පුතා දැන් සිංදුව කියන්නේ කවුරු ගැන ද?” නිවේදිකාව විමසීය. “පූස් පැටව් ගැන” දරුවා පිළිතුරු දුන්නේය. “පුතාගේ ගෙදර පූස් පැටව් ඉන්නවද?” නිවේදිකාව යළි දරුවාගෙන් විමසීය. “පූස් පැටව් ගොඩක් අපේ ගෙදර හිටියා. අපේ අම්මා එයාලා සේරම පන්සලට ගිහින් දැම්මා” යැයි දරුවා පිළිතුරු දුන්නේය.


වැඩසටහන නිමාවීමෙන් පසු සිදු වූ දෙයින් ලැජ්ජාවට පත් මව “මේකා ආයේ නම් කිසි දිහාක ගෙනියන්නෑ” කියමින් දරුවාද අතින් ඇදගෙන ගොස් තරවටු කරමින් ඔවුන් පැමිණි බස් රථයට නැග්ගේලු.