හිඟුරානේ නවරත්න සමරතුංග සහ දිගාමඬුල්ල විශේෂ ඥාණසිරි හෙට්ටි ආරච්චිගේ
වල් ඌරකු මරා මස් කළ තුවක්කුකරුවකු ගැන පොලිස් මුරපොළකට ඔත්තුව දුන් ග්‍රාමාරක්ෂකයන් දෙදෙනකු පසුව එම ඌරා බෙදාහදා ගත් සිද්ධියක් අම්පාර රජවැව ප්‍රදේශයේ ගොවීන් පිරිසකගේ කතා බහට ඉකුත් දා ලක්වූ පුවතකි මේ.
බලපත්‍ර තුවක්කුවක් ලබාගෙන තිබූ අයකු රජවැව ආශ්‍රිත කුඹුරු යායේදී වල් ඌරකු මරා මස් කිරීම සඳහා එම සතා ඔහුගේ ඉඩමට ඇදගෙන යමින් සිටියදී ග්‍රාමාරක්ෂකයන් දෙදෙනකු බුද්ධංගල පොදු සුසාන භූමිය අසල ඇති පොලිස් මුර පොළට දුවගොස් මේ පිළිබඳ ඔත්තුවක් ලබාදී තිබුණි.
එකෙනෙහිම එහි සිටි පොලිස් නිලධරයකු එතැනට පැමිණ තුවක්කු කරු අමතා ගම් ආරක්ෂාවට දුන් තුවක්කුවලින් වන සතුන් දඩයම් කිරීමේ වරද කියාදීමෙන් පසුව වළක් කපා එම සතා වළ දමන ලෙසත් උපදෙස් දුන්නේය.
ඉන් පසුව එම සිද්ධිය ක්‍රියාත්මක කරන ආකාරය නිරීක්ෂණය කරමින් සිටි බව කියති.
ඒ අනුව වල් ඌරා මැරූ තැනැත්තා වළක් කපා ඌරා වළට දමා භූමිතෙල් ඉස ගිනි තැබීමට සූදානම් විය.
මඳ වේලාවක් එදෙස බලා රැඳී සිටි රාළහාමි ‘දැන් හරි ඔය සතා පිච්චුණාම උඩින් පස් දමා වසා දමන්නැයි‘ උපදෙස් දී මුරපොළට යද්දී රාළහාමිට ඔත්තුව දුන් ග්‍රාමාරක්ෂක දෙදෙනා එසැණින් එතැනට පැමිණ කිසිවක් නොදන්නා පරිදි ‘ඇයි මේ වළක් කපලා ඌරා පුච්චන්නේ ?‘ යැයි ප්‍රශ්න කළහ.
ඌරා මැරූ පුද්ගලයාද පිළිතුරු දෙමින් මුරපොළේ රාළහාමිගේ උපදෙස් මත මෙම සතා භූමිතෙල් වක්කර ගිනි තබා වළ දමන බව පැවසීය.
‘අනේ මොන අපරාධයක්ද ඒක? අපි මේ ඌරා මස් කරලා බෙදාගනිමු‘ යැයි යෝජනා කළ ග්‍රාමාරක්ෂකවරු දෙදෙදෙනා ඔහුත් සමග ඌරා මස් කර ගියහ.
සිද්ධිය ගැන රජවැව කුඹුරු යායේ ගොවීන්ට දැන ගැනීමට ලැබෙන විටත් එය ඔප්පු කරන්නට තරම් කිසිදු සාක්ෂියක් එම ස්ථානයේ නොතිබිණි.