පොලිස් අණ නොතකා යතුරුපැදියෙන් ගොස් පොලිසියෙන් බේරීමට රාළහාමි කෙනකුගේ නිවසට යතුරුපැදිය දැමූ පුවතක් වාර්තා වේ. සිද්ධිය මෙසේය. මෙම සිදුවීමට අදාළ තරුණයා මෙම සිද්ධිය වූ ගමේ පුද්ගලයකු නොවේ.
ඔහුට යතුරුපැදි ධාවනයට බලපත‍්‍ර නොමැති වූ අතර අදාළ ගමේ මළගෙදරකට සහභාගි වී යන අතරේ පොලිසියෙන් යතුරුපැදිය නැවැත්වීමට උත්සාහ කර ඇත. මෙම තරුණයා විසින් යතුරුපැදිය නොනවත්වා ගමන් කර ඇති අතර, පොලිස් යතුරුපැදිය ද මොහු හඹා ගොස් තිබේ.
පොලිසිය තමා හඹා එන අයුරු දුටු තරුණයා බේරීම සඳහා වංගුවක් ඉස්සර කර පොලිසියට නොපෙනෙන්න නිවෙසක් තුළට දමා තිබේ. පසුපසින් පැමිණි පොලිස් නිලධාරීන් අදාළ බයිසිකලය හා තරුණයා අතුරුදන් වීම සම්බන්ධයෙන් අසල ඇති කඩයකින් විමසා ඇත.
එවිට කඬේ සිටි පිරිස පැවසුවේ, රාළහාමිලාගේ නිවෙසට යතුරුපැදියක් වේගයෙන් ගිය බවය. පොලිස් නිලධාරීන් නිවසට ගිය පසු දුටුවේ බයිසිකලයෙන් බැස නිවැසියන් සමඟ කතා කරමින් සිටින තරුණයාය. ”අනේ අම්මේ මාව බේරගන්න මට ලයිසන් නෑ” යයි තරුණයා පොලිස් නිලධාරියාගේ මවගෙන් ඉල්ලා සිටි අතර, ”අනේ ළමයෝ ඒ මගේ පුතානේ.
පොලිසියේ වැඩ කරන්නේ” යැයි කාන්තාව පැවසූ අතර, තරුණයාට දෙවියන් සිහිවී ඇත්තේ නිවෙස දෙසට පැමිණෙන පොලිස් යතුරුපැදිය දුටු නිසාය. කෙසේ වෙතත් අදාළ නිලධාරීන් දෙදෙනා අකුරට සිය රාජකාරිය කළාලූ.

