(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
බිරිඳ විසින් තමාට සුපුරුදු පරිදි උදෑසන ගෙනැවිත් දුන් තේ කෝප්පයේ වෙනදා දැනෙන රස නොදැනීම නිසා තමාට කොරෝනා ආසාදනය වී ඇතැයි බියට පත් සැමියකු පරීක්ෂණයක් කරවා ගැනීමට රෝහලට යාමට සූදානම් වූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
ඔහු තවමත් තරුණ විය නොඉක්මවූ පුද්ගලයෙකි. ස්ථිර රැකියාවක් නොකළ අතර වත්තේ පිටියේ සුළු සුළු වැඩ කරගෙන දරු මල්ලන් බලා කියාගෙන කාලය ගත කරයි.
ඔහුගේ බිරිඳ ප්‍රදේශයේ තේ ඉඩම්වල දලු කැඩීමට ගොස් උපයා ගන්නා මුදලෙන් පවුලේ සියලු වියහියදම් අමාරුවෙන් හෝ කළමනාකරණය කරගනියි.
මේ දිනවල තේ දලු අස්වැන්න අඩු නිසා ඇයට වැඩ ලැබෙන දින ගණන ද අඩු වී ඇත. එනිසා කුස්සියේ අඩුපාඩු ද අපමණය.
කොරෝනා වසංගතය පැමිණි මුල් කාලයේ පටන් තමන්ට ද එම රෝග ලක්ෂණ ඇතැයි සැක පළ කළ සැමියා සියලු සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දේය.
ආර්ථික අමාරුකම් නිසාම දැන් කලක පටන් උදේට පිටි කිරි ටිකක් දෙන්නේ දරුවන් දෙදෙනාට පමණි.
කෙසේ වෙතත් උදේට ඔහුට ප්ලේන්ටියක් නම් නොබීම බැරිය. එනිසා බිරිඳ ද කෙසේ හෝ සකසුරුවම් ලෙස සීනි බෝතලය කළමනාකරණය කරගෙන සැමියාට උදේට තේ එකක් සාදා දීමට වගබලා ගත්තාය.
කෙතරම් අගහිඟකම් තිබුණ ද සැමියා සමඟ ඒවා ගැන ඈ කතා නොකරයි. ඒ, ඔහුට ඒවා කීමෙන් විසඳුමක් නොලැබෙන නිසාය.
පසුගිය දිනෙක උදෑසන බිරිඳ ගෙනැවිත් දුන් තේ එක තොල ගෑ ඔහුට එහි කිසිදු සීනි රසක් නොදැනිණි. මෙතෙක් කල් හිතට වද දුන් සැකය තහවුරු වී ඇතැයි බියට පත් ඔහු කඩිමුඩියේ රෝහලට යාමට සූදානම් වී බිරිඳ අමතා “හාමිනේ, ඔහේ ළඟ තියේ නම් මට සල්ලි කීයක් හරි දෙන්න, මට කොරෝනා ද කියල බලාගන්න යන්න. උදේ තේ එකේ මට සීනි රහක් දැනුනේම නෑ නොවැ” යි කියාගෙන ගියේය.
“අනේ, ඔහේට ඇති කොරෝනාවක් නෑ. ගෙදර හරියෙ සීනි ඇටයක් නෑ. ඒක නිසා මම උදේ ඔහේට දුන්නේ කහට කෝප්පයක්.”
ඇගේ ගෝරනාඩුවෙන් ඔහු සැනසුම් සුසුමක් හෙළුවේය.