කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
කැබිතිගොල්ලෑවට නුදුරු ගමක ජීවත් වූ ඔහු නිරන්තර කලබලකාරයෙකි. ඔහුගේ බොහෝ වැඩ ‘‘අඬුව තිබියදී අත පුච්චා ගැනීමකට” සමානය. පසුගිය දිනක ඔහුට සිදුවූ අකරතැබ්බයක් නිසා ගම්පළාතේ බොහෝ දෙනා ඔහු හාස්‍යයට ලක් කළහ.
කතාව මෙසේය.
ඔහු ජීවත් වූ ගමේ සිට නගරයට යන ප්‍රධාන පාරට කිලෝමීටර් පහක් පමණ දුර තිබේ. එතැන සිට නගරයට ද කිලෝමීටර් හතක් පමණ දුර ඇත. මේ කිලෝමීටර් දොළහක දුර ගෙවාගෙන එදින ඔහු කැබිතිගොල්ලෑවට තම යතුරුපැදියේ ලීටර් විසිපහක කෑන් එකක් පිටුපස බැඳගෙන ඉන්ධන හල වෙත ගියේ එයට පෙට්‍රල් රැගෙන ඒම සඳහාය.
කෑන් එකට පෙට්‍රල් පුරවා ගත් ඔහු මොහොතක් පමා නොවී යතුරුපැදිය පණ ගන්වා තම නිවසට එමින් සිටියේය. කිලෝමීටර් හතක් දුර ගෙවාගෙන තම ගමට හැරෙන හන්දියෙන් ගමේ පාරට යතුරු පැදිය හරවා කිලෝමීටරයක් පමණ දුර ගියා පමණි. යතුරුපැදිය හිටි හැටියේම නතර විය. ඔහු කකුල් දෙක බිම ඔබාගෙන යතුරුපැදිය දෙපැත්තට සොලවා බලා, එහි පෙට්‍රල් ඉවර වී ඇති බව දැනී, යතුරුපැදියෙන් බිමට බැස එය තල්ලු කරමින් ගමන් කරන්නට විය. මෙසේ කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දහඩිය පෙරාගෙන හතිලමින් යතුරු පැදිය තල්ලු කළේ ගිනි අව්වේ පිච්චෙමින්ය. දැන් නිවසට ඉතා කිට්ටුවෙන් යද්දි, ගමේ කෙනෙකු හමුවී යතුරු පැදිය තල්ලු කරන්නේ ඇයිදැයි විමසීය.
‘‘බලාපන් මලයෝ කරුමෙ, මේකෙ තෙල් ඉවර වුණා නොවැ.”යැයි පැවසීය. එකෙනෙහිම අනෙක් මිනිසා, ‘‘අයියේ ඔය බැඳලා තියෙන බුලියේ මොනවදැයි” ඇසීය.
”ඒකෙ පෙට්‍රල් බං” කියනවාත් සමගම අනෙකාට දෙකොනින් හිනා ගියේය.
“අනේ අනිච්චං, උඹ වගේ ගොන් හරකෙක්, පෙට්‍රල් බූලියක් පුරවාගෙන බයිසිකලේ හැතැම්ම ගානක් තල්ලු කළා.” යැයි පැවසීය.
ඔහු පැවසූ වදන් සැනෙකින් අවබෝධ වූ බයිසිකලය තල්ලු කළ මිනිසා ගේ දෑස් උඩ ගියේය. ‘‘දෙයියෝ සාක්කි” යැයි ඔහුට ඉබේටම කියැවිණි.
‘‘අනේ බුදු මලයෝ, ඔච්චර දෙයක් මට කල්පනා වුණේ නැහැ නොවැ. මේක උඹ කිසි කෙනෙකුට කියන්න එපා”, යැයි ආයාචනා කළේය.
කෙසේ හෝ ගමේ හිතවතාගේ ඇට නැති දිව පාලනය කර ගැනීමට ඔහුට බැරි විය. පැයක්වත් යන්න කලියෙන් ගම පුරාම ඔහුගේ මෝඩකම ප්‍රචාරය වී තිබුණි. දැන් කොල්ලෝ කුරුට්ටෝ ‘‘මාමේ පෙට්‍රල් එහෙම නැද්ද”යැයි අසන විට ඔහු හෙමින් සීරුවේ එතැනින් වාෂ්ප වෙනවා ලූ.