තෙල් තාච්චියට වැටුණු බෝලෙට කතුන් දෙදෙනෙක් ගුටි ඇනගෙන


(මීගමුව ඩබ්ලිව්. හියුබට් ප්‍රනාන්දු)
තෙල් තාච්චියට බෝලයක් වැටුණයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු දබර කර ගත්තැයි කියන සිද්ධියක් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව දුන්ගාල්පිටිය පොලිසිය පවසයි.


මෙම සිද්ධියේදී එක් කාන්තාවක අනෙක් කාන්තාවට පහරදී ඇති අතර තුවාල ලත් කාන්තාව ප්‍රතිකාර සඳහා මීගමුව දිසා මහා රෝහලට ඇතුළත් කර තිබේ.


මෙම සිද්ධිය වූ දින ළමයින් පිරිසක් සෙල්ලම් කරමින් සිටින විට අදාළ බෝලය ආහාර පිළියෙළ කරමින් සිටි කාන්තාවගේ තෙල් තාච්චියට වැටී සිට තිබේ. එහිදී කාන්තාවන් දෙදෙනා අතරවූ ආරවුල දිග් ගැසී දුරදිග ගොස් එක් කාන්තාවක අනෙක් කාන්තාවට තුවාල සිදුවන අයුරින් පහරදී ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ. 


තුවාල ලැබ මීගමුව රෝහලට ඇතුළත් කර සිටින්නේ මීගමුව පිටිපන පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුන්ගා ්පිටිය පොලිසිය මීගමුව දකුණු පිටිපන පදිංචි 32 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබ සිටින්නීය. 


අනාවරණය වී ඇති අන්දමට සිද්ධියට අදාළ දෙදෙනාම විවාහක කාන්තාවෝ වෙති. 


දෙදෙනාගේ ළමයින් සෙල්ලම් කරමින් සිටින විට බෝලය අනෙක් කාන්තාව කෑම පිසිමින් සිටි තෙල් තාච්චියට වැටී ඇති අතර, එහිදී කතුන් දෙදෙනා අරගල කරගෙන තිබේ. 


පොලිසිය සිද්ධියට අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.