උදේ පාන්දරම තම යතුරුපැදියේ නැගී සේවා ස්ථානයට යන සැමියා ආපසු නිවෙසට පැමිණෙන්නේ රෑ බෝ වූ පසුවය. දිවා ආහාරය ඇතුළු අනෙකුත් දෑ බෑගයේ දමා ගන්නා ඔහු එය පිටේ එල්ලාගෙන රැුකියාවට පිටත් වේ. ආපසු පැමිණෙන සැමියා තම බෑගය පුටුව මත දැමීම දිනපතා සිදුවන්නකි. භාර්යාව ද තමා සෝදන රෙදි සුළං වැදීම සඳහා රාත‍්‍රියට පුටු ඇන්ද මත දැමීම සිරිතකි.
දිනක් රාත‍්‍රියේ නිවෙසට පැමිණි සැමියා කරේ දමා තිබූ බෑගය ගලවා පුටුව මත දැමීය. පසුදා හිමිදිරියේ අවදි වූ හෙතෙම බිරිය අසනීපයෙන් පසු වූ බැවින් දිවා ආහාරය හෝටලයකින් ගැනීමේ බලාපොරොත්තුවෙන්, පුටුව මත තිබූ බෑගය පිටේ එල්ලාගෙන අඩ අඳුරේම යතුරුපැදියෙන් ගමන් ඇරඹීය.
මාර්ගය වැටී තිබුණේ සුසාන භූමියක් ඉදිරිපිටිනි. සුසාන භූමිය පසුකරන විටම පිටට තදින් පාරක් වදිනු ඔහුට දැනුණි. ඇඟ සීතල වී හිරිගඩු පිපුනි. බිය වූ ඔහු වේගයෙන් යතුරුපැදිය පදවා අවදානම් කලාපය පසු කළේය.
නැවතත් පිට හරහා පාරක් වැදුණි. යතුරුපැදිය නැවැත්වූ හෙතෙම වහාම පිටුපස හැරී බැලූවත් කිසිවෙකු නොවීය. බෑගය ගලවා අතට ගත් විට දක්නට ලැබුණේ බිරිඳගේ තිසරපටය බෑගයේ එල්ලී තිබෙන අයුරුය. එහි පටිය සුළඟට පිටට වැදී ඇති බව පැහැදිලි විය. තනිවම සිනාසුණු ඔහු යළි ගමන් ඇරඹීය.

