(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වසර තුන හමාරක් තිස්සේ පෙම්බස් දොඩමින් අනාගත ජීවිතයකට අඩිතාලම් දැමූ දුරකතන පෙම්වතිය සොයා නිවසට ආ විට ඇය තම වයසත් ඉක්මවා ගිය පුතුන් දෙදෙනෙකුගේ මවක බව දැනගන්නට ලැබීමෙන් වික්ෂිප්ත වූ රජරට පෙදෙසේ තරුණයෙකු තම දෙමාපියන් ඇතුළු නෑදෑහිතවතුන් සමඟ හැඬූ කදුළින් යුතුව ආපසු ගිය බව මීරිගම ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය.
ආරක්ෂක අංශයේ රැකියාවක නිරත තම පුතුගේ මිතුරකු නිවසට ආ අවස්ථාවේ ඔහුගේ දුරකතනයේ තිබූ අංකයක් සොරා ගත් මේ දෙදරු මව, වරින් වර එම දුරකතන අංකයට කතාකරමින් පුතුගේ මිතුරාගේ ඥාතියෙකු සමඟ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.
මේ සම්බන්ධය දැඩි පෙමක් බවට පත්වෙද්දී ඇය තමන්ගේ ඡායාරූපයක් කියා තම පුතුගේ බිරියගේ ඡායාරූපයක් පෙම්වතාට යවා ඇත. එය දැකීමෙන් පසු මේ තරුණයා තම දුරකතන පෙම ගැන දෙමාපිය වැඩිහිටියන් ද දැනුම්වත් කරනු ලැබ ඇති අතර සුදුසු අවස්ථාවක ගොස් මනාලිය බලා විවාහය තීන්දු කරගන්නට වැඩිහිටියන් කතිකා කරගෙන තිබේ.
මේ වනවිට දුරකතනයෙන් පෙම්බස් දෙඩීමට අමතරව දෙදෙනා ලිපි මඟින් ද තොරතුරු හුවමාරු කරගෙන තිබූ නිසා ඇගේ ලිපිනය ද මේ පෙම්වතා අතටපත්ව තිබිණි. ඉකුත් දිනක වෙනත් ගමනක් යන අතරදී මේ පෙම්වතියගේ නිවසට ගොඩවැදී යන්නට තරුණයාගේ වැඩිහිටියෝ තීරණය කළහ. ඒ බව මේ පෙම්වතා පෙම්වතියට දැනුම් දුන් අවස්ථාවේ ඇය ඊට එකහෙළා විරෝධය පළකර ඇත්තේ තමන් මේ බව තවමත් අම්මාටවත් කියා නැති බව කියමිනි.
නමුත් දෙමාපියන්ගේ තීරණයට විරුද්ධ විය නොහැකි වූ තරුණයා මේ ගමනට එක් වූයේය. ඇගේ ගමට ආ පිරිස තැපැල්කන්තෝරුවෙන් ලිපිනය පෙන්වා නිවසට යන පාර ඇසූ විට, “මේ අර පුතාගේ අම්මාගේ ලිපිනයනේ” කියා පාර කියද්දී පෙම්වතාට හීන්දාඩිය දැම්මේය.
වැඩිහිටියන්ට ද ඇතිවුයේ ගැටලුවකි. නිවසටම ගොස් ඇත්ත නැත්ත දැන ගැනීම සුදුසු බව තීරණය කර පිරිස නිවස සොයා ගියේය. දුරකතනයෙන් එවූ ඡායාරූපයේ සඳහන් තරුණිය නිවසේ වූවාය. මේ පිරිස ඇගේ නම කියා විමසුවේය. ඒ අපේ මහත්තයාගේ අම්මා. මේ දැන් හදිසියේ මිනුවන්ගොඩට ගිහින් එන්න ගියා ඇය කීවාය.
තමන් කිසියම් වංචාකාරී කාන්තාවකගේ රැවටීමකට අසුව ඇති බව තරුණයාට තේරුම් ගියේය. වැඩිහිටියන් ද මේ බව තේරුම් ගත්හ. කරුණු කාරණා කතාකරද්දී “අනේ ඔව් මහත්තයාගේ අම්මා නිතරම කා එක්කද කතාකරනවා නම් අපිත් දැනගෙන හිටියා. මෙහෙම මගේ ෆොටෝ එකත් යවලා කියලා නම් දැනගෙන හිටියේ නැහැ” ලේලිය කිව්වාය.
ලේලිය මෙන්ම දුරකතන පෙම්වතා ද මේ අපූරු පෙම්වතියට ඇමතුම් ගත්තත් ප්‍රතිචාරයක් නොවීය. කළ හැකි දෙයක් නොවූ තැන මේ පිරිස ආපසු පිටව ගියේ නීතිමය පියවරක් පසුව ගන්නා අදහස ඇතිවය. මේ දෙදරු වියපත් මව තවමත් නිවසට පැමිණ නැති නිසා ඇය සොයන්නට පුතුන් ද වෙහෙසෙමින් සිටින බව ද දැන ගන්නට ලැබිණි.

