විදේශ රැකියාවක නිරතව සිට තෙවසරකට පසු මව්බිමට ආ පුතා තම පියාගෙන් රුපියල් පන් දහසක් මාරු කරන්න ඇද්දැයි අසා තේ බොන්න යෑමට කතා කරද්දී නන්නාඳුනන අය සමග තේ බොන්න යන්න බැරි බව පැවසූ පියෙකු පිළිබඳව පසුගියදා සියනෑවේ නගරයකින් වාර්තා විය.
පුතා ඩුබායි දේශයේ රැකියාවට ගොස් වසර තුනක් පමණ විය. ඔහු දෙසතියකට පමණ පෙර ලංකාවට පැමිණියේය. ඒ සමගම පුතා නිරෝධායනයට යොමු කෙරිණි. පුතා ගමට එන බව පවුලේ කිසිවකුටත් නොදන්වා සිටියේ පවුලේ පිරිස විශ්මයට පත් කරවන අදහසිනි.
මේ තරුණයාගේ පියා නගරයේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන යන්නෙකි. හැට හැවිරිදි පමණ වියේ පසු වන ඔහු පසුගියදා දහවල් සිටියේ තම වෙළෙඳසලේය. තරුණයෝ දෙදෙනෙක් කඩයට ගොඩ වූහ. එක් අයෙක් එළියේ සිටියදී අනෙක් තරුණයා ඇතුළටම ගියේය. ඔවුන් දෙන්නා සිටියේ මුව ආවරණ පැළඳගෙනය. ‘රුපියල් පන්දාහක් මාරු තියෙනවාදැ’ යි මේ තරුණයා ඇසීය. ‘අනේ මාරු නම් නැහැ’. මුදලාලි පිළිතුරු දුන්නේ තරමක කේන්තියකිනි. ‘එහෙනම් අපි තේ එකක් බොන්න යමු’. ආගන්තුක තරුණයා මුදලාලිට යෝජනා කළේය.
‘මම දැන් තේ එකක් බීවා විතරයි. ඒ නැතත් නන්නාඳුනන අයත් එක්ක තේ බොන්න නම් යන්න බැහැ’. මුදලාලි කියද්දි කිසිත් නොදෙඩූ තරුණයා මිතුරා සමග හෝටලයක් දෙසට පියමං කළේය.
ටික වේලාවක් ගත විය. පෙරකී තරුණයා යළි පෙර සඳහන් කළ වෙළෙඳසලට ආවේය. මුදලාලි සමග කතා කරමින් සිට මුව ආවරණය ගැලවූයේය. වික්ෂිප්ත වූ මුදලාලි ටික වේලාවක් තරුණයා දෙස බලා සිටියේ අදහාගත නොහැකිවය.
‘අනේ මගේ පුතේ, මට උඹව අඳුනගන්න බැරි වුණානේ. කවද්ද පුතේ ලංකාවට ආවේ’’ ආදි ප්‍රශ්න වැලක් ඔහුගෙන් ඇසීය.
පියාගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ‘පුතා මම ගෙදර යනවා’ කියා පිටව ගියේ අනතුරුවය. සිද්ධ වූ අලකලංචියෙන් පසු පියා අසල කඩයට ගියේ තමන්ට පුතා අඳුනාගන්නට බැරි වූ බව කියන්නටය. ‘කොල්ලව මං ගණන් ගත්තේ නෑ කියලා හිතුවාද දන්නේ නැහැ. මගේ හිතට අමාරුයි වෙච්ච දේට. පියා හිතවතුන් සමග පැවසුවේ තම හිත නිදහස් කර ගන්නටය.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි