තාත්තාට පහරදී පැනගිය පුතා උදේ කෝල්කර සැප සනීප අහලා


(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)

තම පියාට පහරදීමක් සිදුකර පළා ගිය බව කියන පුතෙකු පසුව පියාට දුරකතන ඇමතුමක් දී ඔහුගෙන් සුවදුක් විමසූ පුවතක් වයඹ පළාතේ මුහුදුබඩට නුදුරු ගමකින් පසුගියදා වාර්තා විය.

වයස අවුරුදු 30ක් පමණ වන බව කියන මෙම පුතා විවාහක එක්දරු පියකු බවත් පැවසේ. මොහු සිය බිරියව රට රැකියාවකට යවා ඇය එවන මුදල් හිතුමතේ වියදම් කරමින් බේබදු ජීවිතයක් ගතකරන බවට දිනක් ඔහුගේ මව්පියන්ට දැන ගන්නට ලැබී ඇත.

ඒ අනුව බිරිය දුක්මහන්සි වී එවනු ලබන මුදල් නිරපරාදේ වියදම් නොකර ඒවා අරපරෙස්සම් කරගෙන තම රැකියාවෙන් දරුවා සමග යහපත් ජීවිතයක් ගත කරන ලෙසට අවවාද කිරීමේ අරමුණෙන් පසුගිය දිනක රාත්‍රී මෙම මව්පිය යුවළ තම පුතා සිය නිවෙසට කැඳවා තිබුණි.

පුදුමයට කරුණ නම් මෙම බේබදු පුතා තම මව්පියන් හමුවීමට මෙදින සිය මහගෙදරට පැමිණ ඇත්තේ ද බීමතිනි. නමුත් අසිහියෙන් නොසිටි තම පුතුට රාත්‍රී ආහාරය ද පිළිගැන්වූ මව්පියන් අනතුරුව බීමත්කමේ ආදීනව ඇතුළු කරුණු කාරණා අවබෝධ කර දෙමින් අවවාද දෙන්නට විය. නමුත් මව්පියන්ගේ එම අවවාද පුතාට “නයාට අඳුකොළ” මෙන් විය. ඔහු ඒවා පිළිගන්නවා වෙනුවට ඒවා අසා කිපුණි. “මට ඕකට ද එන්න කීවේ” යැයි යටි ගිරියෙන් පවසා ඒ සමගම පියාගේ ගෙල පෙදෙසට ද වැරෙන් පහරක් ගසා අනතුරුව ඔහු පසෙකට ද තල්ලුකර දමා පලාගොස් ඇත.

එසේ පලා ගිය පුතා පසු දින උදෑසන දුරකතන ඇමතුමක් දී තමාගේ සුවදුක් විමසූ බවත් එවිට තමාගේ දෙනෙත්වලින් කඳුළු ගැලුවා හැර පුතා කෙරෙහි තරහක් හෝ වෛරයක් ඇති නොවූ බවත් මේ ගැන දැන විමසූ අසල්වැසියකුට පියා පවසා තිබේ.