(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයට නුදුරු ප්‍රදේශයක පිහිටි ඉන්ධන පිරවුම්හලකට පෙට්‍රල් රැගෙන විත් ඇති බව සැලවීම මත, බූලියකට පෙට්‍රල් ගැනීම පිනිස ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයකු රථය, ත්‍රිරෝද රථ පෝලිමේ තබා යාමෙන් ජංජාලයක් සිදුවූ ආකාරයක් දක්නට ලැබිණි.
ඉකුත් සතියේ දිනෙක පිරවුම්හලට පෙට්‍රල් ලැබීම මත මෝටර් රථ, යතුරු පැදි සහ ත්‍රීරෝද රථ විශාල සංඛ්‍යාවක් රැගෙනවිත් තිබූ අතර දිගු ත්‍රිරෝද රථ පෝලිමෙහි හිමිකරුවෙකු නොමැති ත්‍රීරෝද රථයක් වූයෙන් ඊට පසුපස රථයෙහි සිටි තැනැත්තා එම ත්‍රිරෝද රථය වරින්වර මීටර් සීයකට වැඩි දුරක් ඉදිරියට තල්ලු කරමින් රැගෙන ගියේ එහි රියැදුරා යම් හදිස්සියකට ගොස් ඇති බව සිතමිනි.
මෙසේ පැය භාගයක පමණ කාලයක් ගතවීමෙන් පසුව එක්තරා පුද්ගලයෙක් ඉන්ධන පුරවාගත් බූලියක් රැගෙන විත් එම ත්‍රිරෝද රථයට නැගී යන්නට සූදානම් විය.
මෙය දුටු පසුපස ත්‍රිරෝද රථයෙහි රියැදුරා වහාම ඔහු අසලට පැමිණ” ගෝරනාඩු කළේය.
මොන පිස්සුවක්ද කළේ මනුස්සයො, මම මෙච්චර දුරක් මේක තල්ලු කළේ තමුසෙ හදිස්සියකට යන්න ඇතිය හිතලයි. බූලියට පෙට්‍රල් ගන්න ආවනම් මේක පෝලිමේ ගැහුවෙ මොන මඟුලකටද? මේක පැත්තකින් නවත්තලා පෙට්‍රල් ගන්න තිබුණනෙ. විඳින කරුමවලට මේව තවත් කරුම තමයි.
තමන් කළේ ලොකු වරදක් බව තේරුම් ගත් එම ත්‍රිරෝද රථයේ රියැදුරා, පිරවුම්හලෙන් පිටවගියේ වචනයක්වත් නොදොඩා හිස පාත්කර ගනිමිනි.