ත්‍රිරෝද රියක් ඕඩර් කළාම මාතලී බයික් එකේ ඇවිත්


ප්‍රධාන පෙළේ ප්‍රවාහන සේවා සපයන ආයතනයකින් කුලී රථයක් ඔන්ලයින් මාර්ගයෙන් වෙන්කර ගත් තරුණියක වාහනය තමා සිටින ස්ථානයට පැමිණි පසු අන්දුන් කුන්දුන් වී රියැදුරුට මුදල්ද ලබාදී පින්සෙන්ඩු වී හරවා යැවූ පුවතක් කොළඹට නුදුරින් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

ඇය මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි තරුණියකි. හදිසි අවශ්‍යතාවක් සඳහා කොළඹට පැමිණීමට ජංගම දුරකතනයේ ඇප් එකෙන්  ප්‍රධාන පෙළේ ප්‍රවාහන සේවා සපයන ආයතනයකින් ඔන්ලයින් මාර්ගයෙන් ත්‍රිරෝද රථයක් වෙන්කර ගත්තාය.

ටික වේලාවකින් සේවා සපයන ආයතනයේ රියැදුරෙක් එම තරුණියට දුරකතන ඇමතුමක් ලබාදී පැමිණිය යුතු ස්ථානය විමසා තව විනාඩි කීපයකින් පැමිණෙන බව ඇයට පැවැසීය.  

ත්‍රිරෝද රථය ඉතා ඉක්මනින් පැමිණෙනතුරු ඇය ඇඟිලි ගනිමින් සිටියාය. සුළු මොහොතක් ගත විය. යතුරු පැදියකින් තරුණයෙක් පැමිණ තරුණිය අසල නවතා දුරකතන ඇමතුමක් ලබාගන්නට විය. තරුණියගේ දුරකතනය නාද විය.

‘මිස් නේද වාහනයක් ඕඩර් කළේ? කොහෙටද යන්න ඕනෑ? නගින්න මිස්’ යනුවෙන් පවසා තරුණයා තම අත තිබූ හෙල්මටය ඇය දෙසට දිගු කළේය. තරුණිය අන්දුන් කුන්දුන් විය.

‘ඇයි මේ’  තරුණිය විමසුවාය.

‘මිස් මම ...... ප්‍රවාහන සේවා ආයතනයෙන් මිස් බයික් එකක් එවන්න කියලා ඇප් එකේ සටහන් කරලා තිබුණා.’ තරුණියට හීන් දාඩිය දාන්නට විය.

‘මම ත්‍රීවිල් එකක් ගෙන්නා ගන්නයි ඇප් එකේ සටහන් කළේ’ ඇය බැගෑපත්වන්නට වූවාය.
‘නෑ මිස් බයික් එකක් තමයි රිසර්ව් කරලා තියෙන්නේ. බලන්න  මිස් ඇප් එකේ මේ තියෙන්නේ.’ යතුරුපැදිකාර තරුණයා පැවැසීය.

‘අනේ සමාවෙන්න. මට බයිසිකල්වල යන්න බැහැ. මේ රුපියල් 500 ඔයා තෙල් වියදමට තියාගන්න. මම පස්සේ ත්‍රීවිල් එකක් ගෙන්වා ගන්නම්’ යනුවෙන් පවසා යාන්තම් තරුණිය එතැනින් ලිස්සා ගියාය.

ගයාන් සූරියආරච්චි