ත්‍රිරෝද ගාස්තුවට සොරාගත් දුරකථනයක්දී රියැදුරා අමාරුවේ


ත්‍රිරෝද රථයක් රාත්‍රි කාලයේ කුලියට රැගෙන ගොස් කුලිය වෙනුවට සොරකම් කරන ලද ජංගම දුරකතනයක් ලබා දී මාරුවීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි.


මහනුවර ප්‍රදේශයේ එක්තරා ගම්මානයක පදිංචි ත්‍රිරෝද රථ රියැදුරකු සිය සේවය අවසන් කර රාත්‍රි අටට පමණ නිවසට යමින් සිටින අතරමගදී ත්‍රිරෝද රථය නැවැත්වූ දෙදෙනෙකු තමන්ට යාමට වාහනයක් නැති නිසා නිවස අසලට ඇරලවන ලෙස ඉල්ලා තිබේ. 


තමන් සේවය අවසන් කර  නිවසට යන බව කොතෙක් පැවසුවද ඔවුන්ගේ ඇවිටිල්ල නිසාම මෙම රියදුරු ඔවුන් රැගෙන යාමට එකඟව ඇත. කිලෝ මීටර් කිහිපයක් ගිය තැන එක් පුද්ගලයෙකු මඟදී බැස ඇති අතර මුදල් අනෙක් පුද්ගලයා දීමට කැමැත්ත පළ කර තිබේ.


තවත් කිලෝ මීටර් කිහිපයක් ගියවිට එක් පාළු ස්ථානයකදී අනෙක් පුද්ගලයාද  ප්‍රකාශ කර ඇත්තේ තමන්ද ඉදිරියෙන් බසින බවයි. එහිදී ඔහුද ත්‍රිරෝද රථයෙන් බැස ඇති අතර මුදල් දීම සඳහා සාක්කුව පුරා අත ගෑවද මුදල් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ තම මුදල් පසුම්බිය අමතක වී ඇති බවත් ඉක්මනට නිවසට ගොස් මුදල් රැගෙන එන බවත් එතෙක් මෙය තබා ගන්නා ලෙස පවසමින් ජංගම දුරකතනයක් ලබා දී ඔහු නික්ම ගොස් තිබේ. පැය භාගයකට වැඩි කාලයක් ගත විය. 


මුදල් රැගෙන ඔහු නොපැමිණි නිසා මෙතෙක් ක්‍රියා විරහිතව තිබූ  ඔහුට ලබා දී තිබූ ජංගම දුරකතනය ක්‍රියාත්මක කර ඇති අතර එසැනින්ම එයට ඇමතුමක් ලැබී තිබේ. තම මුදල් ගැන කුමක් හෝ කීමට පැමිණි පුද්ගලයා ඇමතුමක් ගන්නා බව සිතූ රියදුරු ඇමතුමට පිළිතුරු දී ඇති අතර එහිදී ඔහුට තරු පෙනී තිබේ. 


තම දුරකතනය සොරකම් කර තබා ගෙන සිටින බවත් තමන් පොලිසි යන බැවින් දුරකතනය රැගෙන පොලීසියට එන ලෙසත් ඇමතුම ගත් පුද්ගලයා කියා තිබේ. 


මෙය අසා අන්දුන් කුන්දුන් වූ රියැදුරුට සිදුව ඇති දේ තේරුම් ගැනීමට හැකිව ඇති අතර ඔහුට කතා කර සිදුවූ සියල්ල කියා පොලීසියට යෑම වළක්වාගෙන ජංගම දුරකතනය ඔහුට ලබාදීමට පියවර ගෙන තිබිණ.

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්