තරුණයා ‘ලව් හීනෙන්’ නොකා නොබී රෝහලේ


තරුණියකගෙන් මාස කිහිපයක් තිස්සේ ඉල්ලූ ආලය නොලැබුණැයි කනස්සල්ලට පත් තරුණයෙක් දින ගණනාවක් නිරාහාරව සිටිය දී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


රෝහලට ඇතුළත් කරනු ලැබීමෙන් පසුව නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයාගේ වයස අවුරුදු 22කි. තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා වන එකී තරුණයා අධ්‍යාපන සුදුසුකම්වලට අනුව මේ වන විට රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසේ පසු වෙයි. තරුණයාගේ පියා විදේශ රටක රැකියාවක් කරන අතර මව දරුවන් තිදෙනා රැක බලා ගෙන නිවසේ වෙසෙන්නීය.


තරුණයා මාස ගණනාවක සිට කෑගල්ල නගරයේ අමතර ඉංග්‍රීසි පන්තියකට සහභාගි වෙයි. එම පන්තියට එන සුරූපී 21 හැවිරිදි තරුණියකට තරුණයා පංතියට සහභාගි වූ මුල් අවස්ථාවේ දී සිටම සිතින් පෙම් කර ඇති බව වාර්තා වෙයි. තරුණිය පංතියට පැමිණි අවස්ථාවේ සිටම පන්තිය අවසන් වනතුරුම තරුණයා තරුණිය දෙස බලා සිටිනවා මිස අධ්‍යාපන කටයුතු නිසි අයුරින් සිදු කර ගැනීමට උත්සාහ දරා නැත.


දිනක් පංති අවසන්වීමෙන් පසුව තරුණිය බස් නැවතුම්පොළ වෙත පා ගමනින් ගමන් කරන අවස්ථාවේ දී තරුණිය ළඟට දිවගොස් ‘නංගි මම ඔයාට මාස කිහිපයක සිට සිතින් ආදරය කරනවා. ඔයා ඒකට මොකද කියන්නේ?’ යනුවෙන් විමසීමක් කළේය. තරුණිය පසුව තරුණයාගේ මූණ දෙස බලා ‘මට කෙනෙක් ඉන්නවා’ යනුවෙන් ප්‍රකාශ කරමින් ගස්සාගෙන විගස බස් නැවතුම්පොළ වෙතට දිව ගියාය. තරුණයා ද එදා වේදනාවෙන් සිය නිවස වෙත ගිය බව වාර්තා වෙයි.


තරුණිය එසේ තරුණයාට ප්‍රකාශ කළ ද තරුණයා අබමල් රේණුවක් තරමින් ඇයට ඇති ආදරය අඩුවක් කළේම නැත. පංතියට පැමිණි තරුණයා පංති අවසන්වී යන අවස්ථාවේ දී තරුණිය අසලට ගොස් ‘නංගි සමාවෙන්න ඔයාට කෙනෙක් හිටියට කමක් නෑ තාම ඔයා බැඳලා නෑනේ මමත් ඔයාට ගොඩාක් ආදරෙයි’ යනුවෙන් පැවැසීය.


තරුණිය එදිනද ගස්සාගෙන කේන්තියෙන් ගියාය. එදින තරුණියගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබුණු තරුණයා සිතේ වේදනාවෙන් නිවසට පැමිණ තිබුණි. දින කිහිපයක් තරුණයා නිරාහාරව සිටින අවස්ථාවේ දී මව කෑම කන්නේ නැත්තේ මන්දැයි ඔහුගෙන් විමසුවා. මවට කිසිම පිළිතුරක් ලබා නොදුන් තරුණයා ද නිරාහාරව සිටියදී ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)