
එක්තරා ගුරු මහතකුගේ දරුවකු අසනීපවීම හේතුවෙන් සිංහල බෙහෙත් වට්ටෝරුවක් සැමදෙනා අතටම පත්වූයේ එහි වූ ද්‍රව්‍ය හැකි පමණින් පුළුපුළුවන් අය විසින් සම්පාදනය කරගන්නටයි. විදුහල්පතිතුමා බෙහෙත් වට්ටෝරුවේ වූ රටඉඳි බාරගෙන තිබුණේ එදින බ්‍රහස්පතින්දා පොළ නිසාවෙනි.
කඩිමුඩියේ පොළට දිවගිය විශ්‍රාමික විදුහල්පතිවරයා එක් වෙළෙඳ සලක නැවතී පොලිතින් වල ඔතා තිබූ පාර්සලයක් වහාම වෙළෙන්දාට පෙන්වා මිලදී ගෙන ඉක්මනින්ම ගොස් බාරදී තිබිණ. අසනීප දරුවාගේ පියා පින් දී එකී රටඉඳි මුල ශිතකරණයට දමා සෙසු ද්‍රව්‍යද ලැබීමෙන් අනතුරුව පිරිස සිටින අවස්ථාවේම බෙහෙත සාදන්නට ගියේය. රට ඉඳි කියන්නෙ දිව්‍ය ඖෂධයක් කියමින් එකක් විශ්‍රාමික විදුහල්පතිවරයා දරුවාගේ අතට දෙමින් තවෙකක් ගෙන තමන් කටේ දමාගත්තේ තමන් නොවන්නට රට ඉඳි නොලැබෙන්නටත් ඉඩ ඇති බවට උජාරුවක් පෙන්වමිනි.
සැණෙකින් විදුහල්පතිවරයා ගොළු විය. පසුව අසනීප දරුවා ද සැණෙකින් මුහුණ ඇඹුල් කරගෙන කෑ රට ඉඳි එළියට විසි කළේ පිරිස බලාගෙන ඉද්දිය. සිදුවූ දෙය කාටත් හිතාගත නොහැකි වුවත් විශ්‍රාමික විදුහල්පතිවරයා දෙස සියලුදෙනා හැරී බලන විට ඔහුගේ මුහුණද දරුවාගේ මුහුණට නොදෙවැනි වී තිබිණි.
පළමුව සියලුදෙනා විමසා බැලීමේදී සිදුව තිබුණේ විදුහල්පතිවරයා හදිසියට පොළට ගොස් කිසිදු විමසීමකින් තොරව පෙන්වා මිලදීගෙන තිබී ඇත්තේ සියඹලා පාර්සලයක් බවයි. සියලු දෙනා කඳුලු සලමින් සිනා නගද්දී ලජ්ජාව වසා ගන්නට විදුහල්පතිවරයා වහා ගොස් සුපිරි වෙළෙඳසලකින් හොඳම වර්ගයේ සන්නාමයක් සහිත මිලෙන් අධික රටඉඳි පාර්සලයක් දරුවා වෙනුවෙන් ගෙනත් දුන්නේ සෙස්සන් කොක් හඬ තලමින් සිනා නගද්දීය.