ඩෝප් මිතුරා ගඟ ළඟ දමා පාටියේ කට්ටිය ගෙදර ගිහින්


වියලු‍ව වාර්තාකරු
පදම ඉක්ම වීම නිසා වමනය දැමීමෙන් පසුව තද නින්දකට වැටුණු තම මිත්‍රයා පාළු ගං තෙරක් අද්දර අමතක කර පලා ගිය මිතුරන් පිරිසක් පිළිබඳ පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔවුහු එක්තරා ආයතනයක සාමාන්‍ය නිලතල දරන සේවක පිරිසකි.
කිසියම් පොදු කටයුත්තක් සඳහා පිටත්ව ගිය ඔවුන් ගමන අවසන් කළේ, මධු සාදයක් සංවිධානය කරමිනි. ස්ථානය ලෙස ප්‍රදේශය හරහා ගලා යන ගංගාවක ඉවුරේ ඉඩකඩ සහිත ස්ථානයක් තෝරා ගැනිණි.


කටගැස්මෙනුත්, දේශීය හා විදේශීය මත්පැන්වලිනුත් අඩුවක් නොවූ සාදය පැය ගණනක් දිග්ගැස්සෙද්දී නඩයේ සිටි එක් අයකු වමනය දමන්නට වූයේ පදම ඉක්ම වීම නිසාවෙනි.
වමනය දැමීමෙන් පසුව හෙතෙම හිමින් සීරුවේ මඳක් බැහැරට ගොස්, ගං ඉවුරේ ගසක් යටට වී තද නින්දකට වැටුණේ මිතුරන් පිරිස සිය කටයුතු හමාර කරන තෙක් කරන්නට අන් යමක් නොවූ බැවිනි.
හෝරා කිහිපයක් ගෙවී යද්දී වටින් ගොඩින් අඳුර වැටෙන්නට විය. කලබල වූ මිතුරු පිරිස ගඟට බැස දිය නා, ඔවුන් පැමිණි වාහනයට ගොඩ වී, සිය නිවෙස් බලා ඒමට පිටත් වූයේ ගංතෙරේ ගසක් යට ඒ වන විටත් තද නින්දේ පසු වූ මිතුරා අමතක කරමිනි.
සිය මිතුරාගේ නිවෙස ආසන්න වෙද්දී පදමට වැදී සිටි මිතුරු පිරිසට සිය මිතුරා මතක් වූ අතර, ඔවුන්ගේ ඉහ මොළ රත් වන්නට වූයේ ඔවුන් ඒ වන විටත් කිලෝ මීටර් 30-40කට වැඩි දුරක් පැමිණි සිටි බැවිනි.


අවසානයේදී එහි සිටි එක් පුද්ගලයකු මිතුරාට නින්ද ගොස් සිටි ගංතෙරට නුදුරින් පිහිටි නිවෙසක සිටි තවත් මිතුරකුට කතා කොට සිද්ධිය පැවැසුවේ වෙන කළ යුතු දෙයක් නොවූ බැවිනි. නින්දේ සිටි මිතුරා ඇහැරවාගෙන නිවෙසට ඇරලවන විට මැදියම් රැය ද ආසන්න වෙමින් තිබූ බව පසු දින සේවයට පැමිණි උපකාර කළ මිතුරා කොක් හඬලා කියා සිටියේ ආයතනයේ සෙසු සේවක පිරිසට ද සිද්ධිය විස්තර කරමිනි.