(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්)
ලොකු පුතුගෙ වයස අවුරුදු 12කි. බාල පුතුගෙ වයස අවුරුදු 8කි. දෙදෙනාම පාසල් යති. දෙදෙනාම දඟකාරයෝ වෙති. දෙන්නා අතර රණ්ඩු සරුවල් නොමැති වේලාවක් නොමැති තරම් ය. ඒවා ළමා කාලයට අයිති දේ ය.
එදින නිවාඩු දිනයකි. අම්මා සාලයේ මේසයට වී බාල පුතුට පාඩම් කියා දෙමින් උන්නාය. ලොකු පුතා සැටියේ වාඩිවී රූපවාහිනිය නරඹමින් සිටියේය.
බාල පුතුද අම්මා කියා දෙන පාඩම් ඉතා උනන්දුවෙන් අසමින් සිටියේය. පැය දෙකක පමණ කාලයක් අයිය-මලෝ අතර කිසිදු කතාබහක් නොවීය.
එක්වරම අයියා පැමිණ මල්ලිගේ පිටට අත මිටි මොලවා තදින් පහරක් ගැසීය. මල්ලිට ‘අම්මෝ’ යි කියැවිණි. මල්ලිටත් වඩා කලබල වූයේ අම්මාය. පහර එතරම්ම තදින් වැදුණි. බාල පුතුට අනතුරක් වේදැයි අම්මා බිය වූවාය.
‘මොකද ඔයා මල්ලිට ගැහුවේ’ අම්මා ඇසුවාය. මන්දයත් පැය දෙකක් - දෙක හමාරක් පුරා බාල පුතු සිටියේ තමන් සමග බැවිනි. බාල පුතු කිසි වරදක් නොකළ බව අම්මා හොඳින්ම දනී.
‘‘එය මට උණහපුළුවා කියලා බැන්නා’’ ලොකු පුතු කීවේය.
‘‘බොරු කියන්න එපා පුතේ’’ මල්ලි හිටියේ මගෙත් එක්කමනේ. එයා ඔයාට මුකුත් කිව්වේ නෑ’’ අම්මා කිවාය.
‘‘දැන් නොවෙයි මට උණහපුළුවා කියලා බැන්නේ ගිය සුමානේ’’ ලොකු පුතා කිවේය.
අම්මාට ප්‍රශ්නාර්ථයකි.
‘‘ගිය සුමානේ බැනපු එකකට ඇයි අද ගැහුවේ?’’අම්මා ඇසුවාය.
‘‘ මට උණහපුළුවා කියලා බැන්නේ ගිය සුමානේ වුණාට මම දැනුයි ටීවි එකෙන් උණහපුළුවෙක්ව දැක්කේ. ඒකයි මාත් ගැහුවේ’’. ලොකු පුතු කීවේය.
‘මෙහෙමත් ළමයි’ අම්මට කියැවිණි.