ටියුෂන් මිතුරාගේ පෝස්ටර් තොගයෙන් පලතුරු මිතුරා කෙසෙල් ඔතලා


ඇල්පිටිය-චන්ද්‍රසිරි ගුණසේකර
ටියුෂන් ගුරුවරයකු රුපියල් විසිදහසක් පමණ මුදලක් වැයකර මුද්‍රණය කරවූ ටියුෂන් පංතියක් පිළිබඳ පෝස්ටර් තොගයක් තම හොඳම මිතුරකු රැගෙන ගොස් නගරයේ පලතුරු වෙළෙන්දෙකුට පලතුරු ඔතන්නට දීම නිසා පැරණි මිතුරුදම අවසන්ව දැන් හතුරන්ව සිටින පුවතක් වාර්තාවූයේ දකුණු පළාතේ එක්තරා ප්‍රධාන නගරයකිනි.
වාර්තාවූ අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු එක්තරා විෂයකට ඉතා ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකි. ඔහු පළාතේ සෑම ප්‍රධාන නගරයකම තම ටියුෂන් පංති පවත්වාගෙන ගිය අතර පළාතේ වූ තවත් ප්‍රධාන නගරයක ද තම ටියුෂන් පංතියක් ආරම්භ කිරීමට කටයුතු කළේය. එය බොහෝ ටියුෂන් ගුරුවරුන්ගේ ජනප්‍රියවීමේ ක්‍රමයක් වී තිබේ.
ඔහු ඒ සඳහා රුපියල් විසිදහසකට අධික මුදලක් වැයකර පෝස්ටර් තොගයක් මුද්‍රණය කරවාගත්තේ ඒවා අලු‍තින් පංති පටන් ගන්නා  එම නගරය පුරා අලවා ගැනීමේ අදහසිනි.  කාට හෝ කීයක් හරි දී ඒවා අලවා ගැනීම ඔහුගේ ක්‍රමය විය.
මේ අතර පංති පැවැත්වීමට සිටින නගරයේ ජීවත්වන තම හොඳම පාසල් මිතුරෙකු ඔහුගේ නිවසට පැමිණියේය.
“ආ … මම ළඟදි උඹලගෙ ටවුමෙත් මගේ පංතියක් පටන්ගන්න හදන්නෙ. මට සපෝට් එකක් දීපන්.”‍


“අයියෝ ඕක මොකද්ද. කොච්චර එකක්ද උඹ අපේ ටවුමටත් එනව කියන්නෙ. මම දන්න අඳුනන ළමයින්ටත් කියන්නම්. ඕන උදව්වක් කරන්නම්. කියපන්”‍
“එහෙනම් උඹ මෙන්න මේ පෝස්ටර් ටික මට ඒ පැත්තෙ අලවලා දීපන්. ඒකට යන වියදම මම දෙන්නම්.”‍ ටියුෂන් ගුරුවරයා සිය මිතුරාට කීය.
“උඹෙන් මොන සල්ලිද බන්. මම ඕක කරවලා දෙන්නම්.”‍ මිතුරා පෝස්ටර් ටික රැගෙන ආවේය.
එම නගරයේ වූ එක් පලතුරු වෙළෙන්දෙක් තම වෙළඳාමට අමතරව අවශ්‍ය අයට නගරයේ බැනර් පෝස්ටර් ආදිය අලවාදී අමතර ආදායමක් උපයාගත්තේ පුරුද්දක් ලෙසය.
මිතුරා පෝස්ටර්ද රැගෙන ආපසු නිවෙසට එන අතරතුරේ මේ පලතුරු කඩයට ගොඩවූයේ මෙම පෝස්ටර් ටිකද එසේ ඔහුට භාරදී අලවා ගැනීමේ අදහසිනි. මිතුරා පෝස්ටර් ටික සමග රුපියල් දහසක්ද  පලතුරු වෙළෙන්දාට දී “මල්ලි හොඳට වැඩේ කරපන් මම තව ගානක් උඹට දෙන්නම්”‍. වැඩේ පවරා මිතුරා ගෙදර ගියේය.
නගර මධ්‍යයේ කිහිප තැනක පෝස්ටරයක් දෙකක් අලවා තිබෙන අයුරුද මිතුරා දුටුවේය.
ඉන් ටික දිනකට පසු එම ප්‍රදේශයේ වෙසෙන තම ඥාතියෙකු බලන්නට යාමට ටියුෂන් ගුරුවරයාට අවශ්‍ය වී ටියුෂන් ගුරුවරයා අර මිතුරාට කතා කළේය.”‍ මම අපේ මාමා බලන්න යන්න එනවා හෙට උදේ නමයට විතර. උඹ ලේස්තිවෙලා හිටපන්.මම ගෙදරට එන්නම්.”‍
ටියුෂන් ගුරුවරයා මිතුරා සමග ඥාතියා බලන්නට යන අතරේ අර පලතුරු කඩයට ගොඩවුණේ ඥාතියාගේ ගෙදරට කෙසෙල් ඇවරියක් දෙකක් රැගෙන යන්නටය. ටියුෂන් ගුරුවරයා ගත් කෙසෙල් ඇවරි දෙක පලතුරු වෙළෙන්දා එතන තිබූ කොළයක දවටා බෑගයක දමා දුන්නේය. ඒ කොළය ටියුෂන් ගුරුවරයාගේ පෝස්ටරයක් බව මිතුරන් දෙන්නාම දුටුවේය. ටියුෂන් ගුරුවරයා වෙනදාමෙන් වැඩි කතාබහක් නැතිව ගමන ගොස් ආපසු එද්දී මිතුරා නගරයෙන් බැසගත්තේය.
ඔහු පලතුරු වෙළෙන්දාගේ කඩයට ගියේය.
“මොකද්ද මිනිහො උඹ  කළේ. මගෙ සල්ලි ටිකත් අරන් උඹ අර පෝස්ටර් කෙසෙල් ඔතන්න ගත්තෙ.”‍
“ඇයි මහත්තය එහෙම කියන්නෙ. රුපියල් දාහකට ඒ පෝස්ටර් සේරම ටික අලවන්න බැහැ. මම ඒ ගානට ටවුමෙ ටිකක් ඇලෙව්වා.”‍
ඉන් පසු ටියුෂන් ගුරුවරයා මිතුරා සොයා ආවේ නැති ලු‍. මිතුරාත් ආයෙ පලතුරු කඩයට යන්නෙත් නැති ලු‍.