ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පසුගියදා දහවල් සිරිපොද වැස්සේ තරමක වේගයෙන් ධාවනය කළ අතර එහි මගීහු කිහිප දෙනෙක් හිටගෙනද ගමන් කළහ.
හික්කඩුව ප‍්‍රදේශයේදී බසයේ සිටි මැදිවියේ කාන්තාවක් එකවරම නැගිට පිටුපස අසුණේ ඉඳගෙන සිටි වයස 40ක් පමණ වූ ජැන්ඩියට හැඳ පැළඳ ගත් මහත්මයෙකුගේ මුහුණට ඇය අත වූ බෑගයෙන් තඩිබාන්නට විය. මම අම්ම වගේ නේද? මම වාර කීපයක් බැලූව වැරදීමක්ද කියල.
මගේ පිට අතගාන්න ඕන නෑ. ඒකට මගේ මනුස්සයා ඉන්නවා. අහිංසකයෙකුට බස් එකේ යන්න නැහැ යනුවෙන් යක්ෂණියක මෙන් බෙරිහන් දෙමින් එකපිට පහර දෙද්දී ඔහු දෑතින් මුහුණ වසාගෙන බිම බලාගත් අතර බසයේ පැමිණි මගීන් බලා සිටියා මිස වචනයකුදු කතා කළේ නැත.
පසුව බසය ටික දුරක් යනවාත් සමගම බෙල් එක නාදකළ ඔහු බසයෙන් බැසගියේ මගීන් වෙත ආයාචනාත්මක බැල්මක්ද හෙළමිනි.

