(මොරගොල්ලාගම සිසිර කැලේගම)
පාසල්වියේ පැවැති පෙම් සබඳතාවක් මුහුණුපොත ඔස්සේ අලුත්කර ගැනීමට ගොස් දෙදරු මවකට හා එක්දරු පියෙකුට නිත්‍යානුකූලව යුගදිවි අහිමිවීමේ පුවතක් පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.

වාර්තා වූ සිද්ධිය මෙසේය.
ඇය විවාහක දෙදරු මවකි. ඇයගේ වැඩිමල් පුතා ලබන වසරේ පහ වසර ශිෂ්‍යත්වය විභාගයට පෙනී සිටින අතර, බාල දියණියද ඊළඟ වසරේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියමිතය.
අන්තර්ජාලය හා සම්බන්ධවී දරුවන්ට දැනුම් සම්භාරයක් ලබාදීම පහසු කරලීම සඳහා නවීන පන්නයේ ජංගම දුරකතනයක් ගෙනැවිත් දෙන ලෙසට ඇය සිය සැමියාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඇයගේ ඉල්ලීම ඉටු කරන්නට සැමියා පසුගියදා එවැනි නවීන පන්නයේ දුරකතනයක් ගෙනැවිත් දීමෙන් අනතුරුව සැමියා රැකියාවටත්, දරුවන් පාසලට හා පෙර පාසලටත් ගිය පසු නිවසේ තනිවෙන ඇය මුහුණුපොත ඔස්සේ පාසල් වියේ සිටි පෙම්වතා සමඟ එම සබඳතාව යළි ගොඩ නගා ගැනීමට සමත්වී ඇත.
කෙසේ වෙතත් බිරියගේ හැසිරීම් රටාව ගැන සැක සිතූ සැමියා ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටින අතරවාරයේ අනියම් පෙම්වතා කිසිවෙකුත් නැති මොහොතේ එම නිවසට පැමිණි අවස්ථාවක අසල්වාසීන්ගේද සහාය ඇතිව දෙදෙනාම අල්ලා පොලිසියට බාරදීමට සැමියා කටයුතු කළේය.
පොල්පිතිගම පොලීසියේදී ඒ ගැන විභාග කිරීමේදී අනියම් පෙම්වතාද විවාහක මාස අටක් වයසැති සිඟිත්තියකගේ පියෙකු බවත්, ඇය තම දරුවා සමඟ මාතර ප්‍රදේශයේ ඇයගේ නිවසේ වාසය කරන බැවින් මෙම තැනැත්තිය බාර ගැනීමට නොහැකි බවත් පවසා තිබේ.
ඒ සමගම දස වසරක් තිස්සේ අඹු සැමි ඇසුර පැවැත් වු ඇයගේ සැමියා හා එම පවුලේ උදවියද ඇය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ යන එන මං නොමැතිව අසරණ වු ඇය බාර ගැනීමට අනියම් පෙම්වතා ඉදිරිපත්ව ඇය කැඳවාගෙන ඔහුගේ නිවසට ගිය පසුව එම පවුලේ අයද දෙදෙනාම එම නිවසින්ද පන්නා දමා ඇත.
ඉන් අනතුරුව දෙදෙනාම එම නිවසින්ද පිටවී යුගදිවියක පහස ලබන්නට පිට පළාතකට ගොස් ඇතැයි වාර්තා විය.

