චීන කම්කරුවා සිංහල කම්කරුවාගේ කනෙන් රිංගලා


(වියලුව වාර්තාකරු)

ඉදිකිරීම් සමාගමක සේවය කරන චීන කම්කරුවකුට බුලත් විට කන හැටි උගන්වා ඔහුට හුණු තැවැරූ බුලත් කොළයක් දුන් සිංහල කම්කරුවෙකුට සිය සාක්කුවට අත දමා දුංකොළ කෑල්ලක්, පුවක් කැබැල්ලක් හා කරාබු නැටි කීපයක් දිගු කළ චීන කම්කරුවෙකු පිළිබද පුවතක් වාර්තා විය.

සිද්ධිය මෙසේය.

එය චීන සමාගමක් යටතේ සිදු කෙරෙන මාර්ග ව්‍යාපෘතියකි. චීන ජාතික කම්කරුවෝ මෙන්ම සිංහල ජාතික කම්කරුවෝ ද එහි ඉදිකිරීම්වල නිරත වුහ.

භාෂාව බාධකයක් වුවද හස්ත සංඥා යොදා ගනිමින් සිදුකරගත් අදහස් හුවමාරුව නිසාම දෙපාර්ශ්වයේ පිරිස ටික කලකදීම කුලුපග මිතුරන් විය.

 සිංහල කම්කරුවෝ චීන ජාතිකයන්ට  තම ආහාර පානවලින් සංග්‍රහ කළ අතර  සිංහල  භාෂාවේ ඇතැම් වචන ද කියා දුන්හ.

චීන ජාතිකයෝ ද ඔවුන් සතු දුම්වැටිවලින් මෙන්ම විවිධ ආහාරවලින්ද සිංහල කම්කරුවන්ට සැලකීමට අමතක  නොකළහ.

සිංහල කම්කරුවෙකු දිනක්  ආහාර විවේකයේ දී බුලත් විට කන හැටි චීන ජාතිකයෙකුට කියාදී හුණු ටිකක් තැවැරූ බුලත් කොළයක්ද ඔහු අත තැබුවේ ඒ සඳහා ඇවැසි සෙසු කළමනා තමා අත නැති බව හස්ත සංඥාවෙන් කියා පාමිණී.

ඒ මොහොතේ චීන ජාතිකයා සිය පසුම්බියට අත දමා පුවක් කැබැල්ලක්, කරාබු නැටි කීපයක් මෙන්ම දුංකොළ කැබැල්ලක් ද සිය සිංහල ජාතික මිතුරා අත  තැබුවේ  විට කෑමට බුලත් හා හුණූ පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා දුංකොළ හා පුවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බවත් පැහැදිලි සිංහලයෙන්ම සිය සිංහල මිතුරාට කියා දෙමිනි.