මොරගොල්ලාගම - සිසිර කැලේගම
පොඩි මස්සිනා ඇතුළු පවුලේ අයගේ සුවදුක් බැලීමට ගෙට ගොඩ වූ ලොකු මස්සිනා ඇතුළු පිරිසක් පොඩි මස්සිනාගේ බිරියගේ කටට බිය වී පස්ස දොරින් පලා ගිය පුවතක් කලාවැව අවට ගමකින් ඇසුණි.
ගම්බද පෙදෙසකි. පුතුන් තුන්දෙනකුගෙන් යුත් පවුලකි. සැමියා කැඩුම් බිඳුම් වෙද මහතෙකි. පියාගෙන් ඔහු මෙම ශිල්පය ඉගෙන ගෙන ඇත්තේය. ඔහු කොතරම් වෙදකම් කළත් ගමට අගයක් නැත. එහෙත් පිටස්තර උදවියගෙන් ඔහුට ගරුසරු පැසසුම් එමට ගලා එයි.
දිනක් පවුලේම උදවිය එම නිවෙසට ගොඩ වූහ. ඒ, වෙද මහතාගේ අක්කාගේ ස්වාමියා (මස්සිනා) හා ඔහුගේ බාල මල්ලි සමගය. ඔවුන් සමග ඔවුනගේ බිරියෝ හා දරුවෝ පැමිණ සිටිති. එවිට බාල මස්සිනා වූ වෙද මහතා නිවෙසේ සිටියේ නැත. නමුත් ඔවුන් එන බව ඔහු කල් වේලා ඇතිව දැන සිටියේය.
මේ නිසා පිටතට ගිය වෙද මහතා සවස් යාමයේ ගෙට ගොඩ වැදුණි. ගෙනා පොට්ටනිය හෙමින් සීරුවේ රැගෙන ගොස් කාමරයෙන් තැබුවේය. පැමිණි අයගේ බිරියන් හා දරුවන් කැටුව වෙදැදුරුගේ බිරිය මුළුතැන්ගෙට වී කතා කරමින් සිටි නිසා එසේ ගෙනැවිත් තැබූ දේ දෙස ඇයගේ නෙත ගැටුණේ නැත.
කෙසේ හෝ ඇය ලහි ලහියේ පැමිණි ඥාති පිරිසට රාත්‍රී කෑම වේල සූදානම් කළාය. ඒ අතරේ ඔවුන් හොර රහසේ ඉදිරි කාමරයේ මත්පැන් සාජ්ජයකට සැරසුණි. අවැසි බයිට් වර්ග මේසය මත තැබුවේය.
“අයියේ ඔයා කුස්සියට ගිහින් වීදුරු ටික අරගෙන එන්න. මං ගියොත් ගෑනි කෑගහනවා.” නිවෙසේ හිමිකරුවා වූ බාල මස්සිනා කීවේය.
“හරි වැඩක්නේ. අපි හැමදාම බොන බේබද්දෝ නෙමෙයිනේ. අද අපිත් එක්ක බීවාට බනින්නේ නෑ. මං ඒක බලා ගන්නම්” යැයි කී ලොකු මස්සිනා, කුස්සියට ගොස් වීදුරු ටික සෝදාගෙන කාමරයට ආවේය. ඒ පිටුපසින්ම වෙදැදුරාගේ බිරියත් ආවාය.
“මොකද මේ ජහ ජරාව බොන්න ද හදන්නේ. කමක්නෑ අයියලා දෙන්නා බොන්න. මේ මිනිහාට නම් දෙන්න එපා. තමුසේ බීවොත් මම නරක ගෑනි නම් කියන්න එපා” ඇය කීවාය.
“හරි හරි මම බොන්නේ නෑ. ඔයා ගිහින් කෑම ලෑස්ති කරන්නකෝ” ඔහු කීවේය.
ඇය ඉවතට ගියාය. පිටත සිට ජනේලය අසල සිට ඒ දෙස විපරම් කෙරුවාය.
බාල මස්සිනා වීදුරු තුනටම ටික ටික අරක්කු වත් කළේය. “එහෙනම් චියර්ස්” කියන්නට සූදානම් වූවා පමණි.
ඇය යකින්නියක මෙන් කෑගැසුවාය. කුස්සියේ සිටි ඥාති බිරියන් දරුවන් පමණක් නොව අවට නිවෙස්වල අය ද ශබ්දය ඇසී එතැනට ළඟා වූහ.
ඇය වෙව්ලනවාය. අතේ අරක්කු ටිකක් පිරවූ වීදුරුවකි. ඒ, තම සැමියා අත තිබූ වීදුරුවය. ඇය එය උදුරාගෙනය.
“අපි මේ දුවගෙන ආවේ කාට හරි කරදරයක් වෙන්න ඇති කියලා.” අවට නිවැසියෝ පැවැසූහ.
ඇය දිග සුසුමක් හෙළුවාය. කටහඬ අවදි කළාය.
“බලාපියව් මේ මිනිහා බොන්න හදනවා. මේ දෙන්නා නම් බීවාට කමක්නෑ. මොකද ඔවුන් රජයේ රැකියා කරනවා. පැත්ත වැටුණත් නිවාඩුවට ගෙදර හිටියත් පඩි ලැබෙනවා. මැරුණත් ගෑනුන්ට විශ්‍රාම පඩියත් ලැබෙනවා.
නමුත් මේකා බීලා පැත්ත වැටුණොත් කවුද අසරණකම බලන්නේ. බෝ පොතු, දමුණු පොතු හොය හොයා කැලේ ගිහින් බෙහෙත් හොයාගෙන හතර වටේ ගිහිල්ලා වෙදකම් කරලා කීයක් හරි ගෙට ගෙනෙන නිසා නේද අපි ජීවත් වෙන්නේ. මගේ එකාට මොනා හරි වුණොත් මගේ පොඩි උන්ට කාගේ පිහිටක්ද. මං විඳින දුක මං විතරයි දන්නේ” ඇය නොනවත්වා විලාප දුන්නාය. පැමිණි අය ඇයව සන්සුන් කිරීමට උත්සහා කළත් ඇය තොරතෝංචියක් නැතිව දොඩවනවාය.
සිද්ධියෙන් නිවෙසට ගොඩ වූ ආගන්තුක දරුවෝ බියට පත්ව සිටිති. සමාජයට වැදගත්කමක් පෙන්වා සිටි බිරියෝ දෙදෙනා අවට අය ඉදිරියේ අපහසුතාවට පත්ව සිටිති. ඔවුන් තම සැමියන් දෙදෙනා එතැන සිටියදීම සියල්ලන්ටම හොරා තම දරුවන් ද කැටුව පිටුපස දොරින්ම නිවෙස් බලා පලා ගොසිනි.
ඒ බව දැනගත් ඔවුනගේ සැමියන් දෙදෙනා ද සකසන ලද ආගන්තුක කෑම වේලත් පසෙක තබා තම බිරියන් යන පසුපසම කුලියට ගත් තවත් ත්‍රිරෝද රථයක නැගී ලුහුබැඳ ගොස් ඇත.