චිත‍්‍රපටයක් බලන්න ගිහින් කොන්දත් කඩාගෙන


චිත‍්‍රපටයක් නැරඹීමට ගිය තරුණ පිරිසකට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව සත්‍ය පුවතක් කුරුණෑගලින් වාර්තා විය. 

තාරුණ්‍යය පිළිබඳ හැඟීම් දනවනසුළු පේ‍්‍රම වෘත්තාන්තයක් ගැන කියවෙන හින්දි ජනප‍්‍රිය චිත‍්‍රපටයක් නගරයේ සිනමාහලට ඇවිත් යන ආරංචිය ප‍්‍රදේශයේ තරුණ පිරිසකගේ කණ වැකිණි.

ඔවුන් නොඉවසිල්ලෙන් බලා සිටි එම චිත‍්‍රපටය පැමිධෑම පිළිබඳව සතුටට පත් තරුණයන් හත් අට දෙනෙක් එය බැලීමට යාම සඳහා දිනයක් කතාබහ කරගත්හ. කතා කරගත් පරිදි යතුරුපැදිවලින් ගමන්ගත් පිරිස සිනමාහල වෙත ළඟා වන විට චිත‍්‍රපටය පටන්ගෙන තිබිණි.

චිත‍්‍රපට ශාලාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කර තිබුණු දැවැන්ත ජනප‍්‍රිය නළු නිළි යුවළකගේ ඡුායාරූප දැකීමෙන් තරුණ පිරිසගේ සිත් තව තවත් නොසන්සුන් විය. ප‍්‍රවේශපත් මිලදීගෙන කඩිමුඩියේ සිනමා ශාලාව කරා පියනැඟූ පිරිස ”එන්න එන්න මල්ලිලා ෂෝ එක දුවලා විනාඩි10 ක් විතර ඉක්මනට එන්න ඇතුළට” ශාලා සහායක දුවමින් විදුලි පන්දම දල්වා අඳුරු ශාලාවට පිරිස කැඳවාගෙන ගියේ කඩිනමිනි.

ඒ වනවිටත් තිරයේ ප‍්‍රදර්ශනය වෙමින් තිබුණේ ජනප‍්‍රිය නිළියගේ හා නළුවාගේ පේ‍්‍රම ජවනිකාවකි. තරුණ පිරිසගේ ඇස් දිවගියේ ඒ තිරය වෙතය. විදුලි පන්දමේ එළියෙන් අසුන් පෙළක් දැකගත් තරුණයෝ තිරයෙන් ඉවත් නොකළ දෑසින් යුතුවම අසුන්වල වාඩිගත්හ. ‘‘බුදු අම්මෝ..... කොන්ද’’ ශාලාවේ පිටුපසින් ඇසුන අඳෝනාවට කවුරුත් බියවූහ. ශාලාවේ පිටුපස විදුලි ආලෝකයද දැල්විණි.

ශාලාවේ පිටුපසම පේළියේ වාඩිවීමට ගිය තරුණයන් දෙදෙනකුම අසුන්වල යැයි සිතා තිරය දෙස බලාගෙන වාඩිවී ඇත්තේ බිමය. කොන්ද අල්ලාගෙන බිමින් නැගිටින තරුණයෝ නිහඬවම නැවත අසුන් මත වාඩි වූහ.