චරිත සහතිකයක් ලියන්න ගොම කූඩයක්


(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ අධිවේගී මාර්ගය අසල වූ ග්‍රාමීය පාසලක විශ්‍රාමික මුල් ගුරු මහතෙකි. විශ්‍රාම යාමෙන් පසුව අගනුවර හිතවතකුගේ වෙළඳ ආයතනයක ලිපිකරු රැකියාවක් කළද කොරෝනා උවදුර නිසා ගමට පැමිණ නිකරුණේ සිටීමට නොහැකිවූ නිසා ඔහු අසල වූ අක්කර භාගයක් තරම් බිමක එළවළු කොරටුවක් සකස් කළේය.


පසුගියදා තරුණ සිසුවකු සමඟ ඔහු හමුවට ආ පියෙකු තම දරුවාට චරිත සහතිකයක් ලියා දෙන ලෙස ඉල්ලා සිටියේ ඔහු කොරටුවේ වැඩ කරමින් සිටියදීය.


‘‘හරි මම ලියල දෙන්නම්. ඊට කලින් මට පොඩි උදව්වක් කරපන් පුතේ’’ කියා සිසුවා ඇමතූ ඔහු ’’එහා පැත්තෙ කුඹුරේ ගොම තියෙනවා. මට ගොම කූඩයක් ගෙනත් දීපන්. මට ගොම එකතු කරන්න ලැජ්ජයි. වගේ’’ කීවෙන් සිසුවා හා පියා ඊට එකඟ වූහ.


ගොම කූඩය ලද පසු එය පාත්තිවලට දැමූ ඔහු හවස් වරුවේ ගෙදරට එන්නට කියා සහතිකය ලියා අවසානයේ ‘‘ජාතික සංවර්ධනයට දායක වන දරුවෙකි.’’ කියා ලියුවේ ගොම කූඩය මතක් වූ නිසාය. ‘‘මම චරිත සහතිකයක් ලියන්න ගොම කූඩයක් ගත්ත කියලා කාටවත් කියන්න එපා’’ යි මෙම මුල් ගුරුවරයා සිසුවාට කීවත් මේ ආරංචිය ලත් පියා කඩමණ්ඩියේදී මේ කතාව කීම නිසා ඔහු යළිත් වරක් අගනුවර හිතවතාගේ වෙළඳ ආයතනයට යෑමට සිටිනවාලු.