ග‍්‍රාම නිලධාරීට පාඩමක් උගන්වන්න ගල් ගසා පරිප්පුවක් කයි


(කොබෙයිගනේ නිමල් පේ‍්‍රමචන්ද්‍ර)

නියං සහනාධාරලාභී පවුල් ලැයිස්තුවට තම පවුලේ නම ඇතුළත් නොකළේ යැයි කෝපයට පත් පුද්ගලයකු ග‍්‍රාම නිලධාරි කාර්යාලයට ගල් ප‍්‍රහාරයක් එල්ල කළ පුවතක් පසුගියදා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයකින් වාර්තා විය.

එම සිද්ධිය සැකෙවින් මෙසේය.

එම පුද්ගලයාගේ බිරිය නිවසට යාබදව පොඩි පහේ සිල්ලර වෙළෙඳසලක් පවත්වාගෙන යන්නීය. මේ නිසා නියඟයෙන් පීඩාවට පත්වූවන්ට ලබාදෙන නියං සහනාධාර ඔවුනට ලැබුණේ නැත. තම පවුල නියං සහනාධාරලාභීන්ගේ නාම ලේඛනයෙන් ඉවත්කර තිබීම පිළිබඳව මෙම පුද්ගලයා වසමේ ග‍්‍රාම නිලධාරීවරයා කෙරෙහි පසුවූයේ දැඩි කෝපයකිනි.

ග‍්‍රාම නිලධාරි කාර්යාලය ඇත්තේ ඔවුන්ගේ නිවස කිට්ටුවය. පසුගිය දිනක රාති‍්‍රයේ මත්පැන් ටිකකින්ද සප්පායම් වී සිටි මෙම පුද්ගලයා ග‍්‍රාම නිලධාරී කාර්යාලයට ගල් ප‍්‍රහාරයක් එල්ල කළේ ඔහුගේ කෝපය පිට කිරීමටය. ගල් ප‍්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් වීදුරුවක් බිඳී කුඩු පට්ටම් වී ගියේය.

පසුදින උදෑසන වනවිට මෙම සිද්ධිය ගම පුරා පැතිර ගිය අතර ගම්වාසීහු පිරිසක් මේ බව ග‍්‍රාම නිලධාරීවරයාට දැන්වූහ.

සිද්ධිය ආරංචි වූ විගසම කාර්යාලය වෙත පැමිණි ග‍්‍රාම නිලධාරිවරයාට දැකගත හැකිවූයේ කාර්යාලයේ ජනේලයක වීදුරුවක් බිඳී තිබෙන අයුරුය.

මෙම සිද්ධියට සම්බන්ධ යැයි ගම්වාසීන් පැවැසූ එම පුද්ගලයා කාර්යාලයට කැඳවූ ග‍්‍රාම නිලධාරිවරයා ඔහුගෙන් මේ පිළිබඳ විමසීය.

තමා සිදුකර ඇති වරදේ බරපතළකමත් රජයේ දේපළකට හානි සිදු කිරීමේ බරපතළකමත් තේරුම් ගත් ඔහු කළ වරදට ග‍්‍රාම නිලධාරිවරයාගෙන් සමාව අයැද සිටි අතර ජනේලයට අලූත් වීදුරුවක් දමා සකස් කර දීමටත් පොරොන්දු විය.

පොරොන්දු වූ පරිදි එදිනම බිඳී ගිය ජනෙල් වීදුරුව ඉවත්කර අලූත් වීදුරුවක් දමා එය සකස්කර දුන්නේ මේ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කළහොත් පොලිස් කූඩුවේ ලැගීමටද සිදුවන බව වටහාගත් හෙයිනි.