ගෙදර බලලත් ඇදගෙන වෙරළට ගහින් සුද්දියන්ගේ සිරි නරඹලා


බෙන්තොට-ජේ. ඉඳුරුවගේ 
නිවෙසේ කූඩුවක ඇති දැඩි කරන බලු‍ සුරතලා එළි පෙහෙළියට ගෙන යන මුවාවෙන්  මුහුදු වෙරළේ  අඩ නිරුවතින් අව් රශ්මිය විඳිමින් සිටින විදේශික කාන්තාවන් නැරඹීමට ඇබ්බැහි වී සිටි වයස්ගත ස්වාමිපුරුෂයකුට සිය බිරිඳ ප්‍රසිද්ධියේම එල්ල කළ වාග්  ප්‍රහාරයක් ගැන පසුගියදා දකුණේ සංචාරක පුරවරයකින්  අසන්නට ලැබිණි.
ඔහුගේ වයස අවුරුදු 70 ට ළංවී තිබිණි. සිය බිරිඳ සමග නිවසේ කල් ගෙවන ඔවුන්ගේ තනි නොතනියට සිටියේ බලු‍ සුරතලෙකි. කූඩුවක දමා ඇති කරන මේ සුරතලාගේ ශරීර කෘත්‍ය ඉටුකිරීමට යැයි කියා ඔහු ඌ දම්වැලකින් බැඳගෙන නිවෙසට නුදුරින් පිහිටි මුහුදු වෙරළ තීරයට උදේ වරුවේ රැගෙන යාම පුරුද්දක් කර ගෙන සිටියේය. 
එසේ ගොස් ඇතැම් දිනවල ඉක්මනින්ද ඇතැම් දිනවල ප්‍රමාදවීද ආපසු නිවෙසට පැමිණීම ඔහුගේ පුරුද්දකි. ප්‍රමාදයට හේතු විමසූ බිරිඳ ට ඔහු පැවසුවේ වෙරළේ විදේශිකයන් බහුලව සිටින දවසට බල්ලා ආපසු  රැගෙන ඒම තරමක් අපහසු බැවින් ප්‍රමාදවන බවයි. 


 එදින ඔහු වෙනදාට වඩා බොහෝ ප්‍රමාද විය. මේ නිසා බිරිඳ වෙරළට ගොස් ඔහු ගැන සොයා බැලු‍වාය. එවිට ඇය දුටුවේ බල්ලාද සමග ඔහු වෙරළේ වැතිර හිරු රශ්මිය විඳින විදේශීය කතුන් නරඹමින්  හෙමින් හෙමින් ගමන් කරමින් හා නතර වෙමින් සිටින අයුරුයි.
  වහ වහා ඔහු අසලට ගිය  බිරිඳ  “තමුසේ බල්ල ඇපයට තියාගෙන  මේ සුද්දියන් බලන්න නේද මේ  එන්නේ ..? සුද්දියන් අඩු දවසට ඉක්මනින් එනවා. සුද්දියන් වැඩි දවසට පරක්කු වෙනවා නේද..? තමුසෙගෙ වැඩ නිසා මේ බල්ලත් නරක් වෙනවා යැයි කියමින් ඔහුට බැණ වැදුණේ අහල පහළ සිටි අයද සිනහ ගන්වමිනි. 
තවත් බොහෝ දේ ප්‍රකාශ කළ ඇය ඔහුත් ඇදගෙන වහ වහා නිවෙසට යද්දී එදිනෙන් පසු ඔහුට බලු‍ සුරතලා සමග වෙරළට ඒම ද තහනම් කෙරිණි.