ගෙදර ඇත්තො ගමේ යැව්වත් වැඩේ මාට්ටු


(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)
හෙරොයින් මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වූ 35 හැවිරිදි පුද්ගලයකු සිය බිරිඳ සහ දරුවන් බිරිඳගේ මවුපියන්ගේ නිවසට යවා තම කුඩුකාර මිතුරන් නිවසට කැඳවා නිවසේ දී ඔවුන් සමඟ මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


කටුගස්තොට පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනාරත්න මහතාගේ උපදෙස් මත එම අංශයේ නිලධාරීන්  විසින් පසුගියදා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදී. එහිදී හෙරොයින් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. ඉන් වයස අවුරුදු 35ක් පමණ සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 220 ක් සන්තකයේ තබාගෙන නිවසේ සිටියදීය. ඔහු සම්බන්ධයෙන් සහ ඔහුගේ දරු පවුල සම්බන්ධයෙන් පොලිසිය කළ විමර්ශනයේද අනාවරණයවී ඇත්තේ අපූරු කතාවකි.


හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට අධික ලෙස ඇබ්බැහිව ඇති මෙම සැකකරු තම මිතුරන් සමඟ නිවසේ සිට මත්ද්‍රව්‍ය භාවිත කිරීමට තම බිරිඳ අකමැතිවීම හේතුවෙන් දරුවන් ද සමඟ බිරිඳ තම මවුපියන්ගේ නිවසට යවා මිතුරන් නිවසට කැඳවාගෙන ඔවුන් සමඟ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුව සිටින පුද්ගලයකු බව හෙළිවී තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.