මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි.
නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ වයෝවෘද්ධ අඹුසැමි යුවළ පමණි.
රාත්‍රියේ මෙම යුවළ කුරක්කන් ගුලිය බැගින් ආහාරයට ගෙන තිබුණු අතර එක් කුරක්කන් ගුලියක් ඉතිරි වී තිබිණි. එය මැටි කෝප්පයකින් වසා තැබු ගෘහණිය කියා සිටියේ හෙට උදෑසන එය ආහාරයට ගත හැකි බවයි.
පසුදා උදෑසනම ස්වාමිපුරුෂයා කුඹුරේ වැඩට ගියේය. දහවල් වනවිට කුසගිනි දැනුණු නිසා නිවසට පැමිණියේය. මැටි කෝප්පය දෙස බැලූ ඔහුට දැක ගත හැකි වූයේ ඊයේ රාත්‍රියේ සැකසූ කුරක්කන් ගුලිවල ඉතිරි එක තවමත් මැටි කෝප්පයේ ඇති බවයි. මේක දැන් නරක් වෙලා ඇති කියා සිතමින් නිවස අසල කුණු වළට කුරක්කන් ගුලිය විසි කළේය.
මේ අවස්ථාවේ සිය බිරිඳ කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් තිබිණි. ටික වෙලාවකින් බිරිඳ නිවසට පැමිණියාය.
ඇය නිවසට පැමිණියේ ගැට පොළොස් ගෙඩි දෙකක් අතැතිවය. හෙට පන්සලේ දානෙට හොඳට පොළොස් මාලුවක් (වෑංජනයක්) උයන්න ඕනි ඇය සැමියාට කීවාය. ලුණු ඇඹුල් ඇතිව හොඳට හදන්න ඕනි නිසා මම මිරිස් තුනපහ ටික වෙලාසනින් අඹරලා මැටි කෝප්පෙන් වහලා තියලා ගියා ඇය කීවාය.
ගෘහ හිමියාට ඉහ මොළ රත් විය දෙවියෝ සාක්කි මම විසි කරලා තියෙන්නේ මිරිස් තුන පහ ගුලිය.
මම ඵ්ක ඊයේ රෑ හදපු කුරක්කන් ගුලිය වෙන්න ඇති කියලා විසිකලා.
සිය බිරිඳට කීවේය.
මළ හත්තිලව්වේ මනුස්සයෝ මම දැන් ගැට පොළොස් මාළුවට (වෑංජනයට) දාන්නේ මොනවද? කියා ගැට පොළොස් ගෙඩි දෙක පොළොවේ ගැසුවාය.
ගෘහණිය උදෑසනම කුරක්කන් ගුලිය ආහාරයට ගෙන තිබිණි.