(හිඟුරානේ - නවරත්න සමරතුංග)
ත්රිරෝද රථ රියැදුරෙකුට එක්තරා ගුරුවරියක විසින් අමතක නොවන පාඩමක් ඉගැන්වූ බව කියන සිද්ධියක් අම්පාර නාගරික ප්රදේශයෙන් වාර්තාවේ.
එම සිද්ධිය මෙසේය.

දිනය ඉකුත් 11දාය. වෙලාව පෙරවරු 8.45ට පමණ ඇත. වෙනත් නාගරික ප්රදේශයකින් පැමිණි ත්රිරෝද රථයක් කෙටි අතුරු මාර්ගයක් ඔස්සේ අම්පාර නගරය වෙත ගමන් කරමින් තිබිණි.
ඉදිරියෙන් ගමන් කළ රූමත් කාන්තාවක් පිටුපසින් එන එම ත්රිරෝද රිය දෙස හැරී බලා එය නවත්වන ලෙස අතින් සංඥාකර ඇත. ඒ අනුව රියැදුරා රිය නතරකළ විට අසවල් ඉස්කෝලය ළඟට යන්න පුළුවන්දැයි ඇය විමසුවාය.
උදෑසනම තමන් අතට කිසියම් මුදලක් ලැබෙන බව සිතූ රියැදුරා ඔහු ගමන් කළ දිසාව මාරුකර එම කාන්තාව රියට නංවාගෙන ඇය පැවසූ විදුහල වෙත ගමන් කරන්නට විය.
‘බලන්නකෝ මගේ වාහනේ ආවෙ නැහැනේ. දැන් මගේ අතේ සල්ලිත් නැහැ අනේ යැයි ත්රිරෝද රියේ ගමන්ගත් ඇය කටහඬ අවදි කළාය.
‘අතේ පිච්චියක් නැතිව අහවල් එහෙකටද එහෙනම් උදේ පාන්දර වාහනේ නවත්තලා මේකට නැග ගත්තේ. මම යන ගමනත් මස්තබාල්දු වෙන බව ටීචර් කෙනෙක් වුණාම දන්නේ නැද්දැයි’ කියන්නට ඔහුට සිත්වුණද එය තමාටම කියාගත් රියදුරා ආපසු යන්නට රිය හරවද්දී ඉන් බැසගත් ගුරුවරිය ඔමරි සිනාවක් පා ස්තුතිකර යන්නට ගියාය.
මෙම සිද්ධිය එක්තරා ගුරුවරයෙකුට එම රියැදුරා පැවසූ විට ගුරුවරයා කීවේ ‘ඒ ටීචර් උගන්වලා තියෙන්නේ පොඩි පන්තිවල ළමයින්ට උගන්වන ප්රාථමික තාක්ෂණ කුසලතා වර්ධනය’ කරන පාඩමක්. ඔයත් ඒක ඉගෙනගෙන තිබුණානම් ඔය වගේ ප්රශ්න ඇතිවෙන්නේ නැහැයි එම ගුරුවරයා පැවසූ බව දැනගන්නට ඇත.

