බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකි. පොල් පැටෙව්වාක් මෙන් මගීන් අසුරා තිබුණි. සීතල කපාගෙන බස් රථය ඉදිරියට ඇදුණි.
සීනුව නාද විය. බසයේ සිටි තරුණ ගුරුතුමියක් සෙනඟ අතරින් බොහොම අමාරුවෙන් බසයෙන් බැස ගත්තාය. බසය ඉදිරියට ඇදී තැනින් තැන නතර කරමින් ඉබි ගමනේ යද්දී පසුපසින් හඹා ආවේ ත්‍රිරෝද රථයකි. බසය ඉදිරියට ගිය ත්‍රිරෝද රථය බසය හරස්කර නතර කෙරිණ. රියැදුරා විමතියට පත්විය.
ආවේ තකහනියේම බසයෙන් බැස්ස ගුරුතුමියයි. ඇය කොන්දොස්තරට ළංවී පැවැසුවේ තමන්ගේ ජංගම දුරකථනය සමඟ කුඩා පසුම්බිය බසය තුළ වැටී ඇති බවයි. කොන්දොස්තර මේ බව රියැදුරාට පැවැසූවිට ඔහු ගුරුතුමියට කතා කළේ සිත නිවෙන හඬිනි. ටීචර් බය වෙන්න එපා. මෙන්න මගේ පෝන් එක ටීචර් ඔයාගේ අංකය ඩෑල් කරන්න කියා ඔහුගේ ජංගම දුරකතනය දුන්නේය.
ඒ අතරේ කොන්දොස්තරවරයා බසය මැදට ගොස් කළේ දුරකථනය නාදවන්නේ කොතැන ද යන්න පිළිබඳවය. ඒ හඬ ඇසුණේ ජේත්තුවට ඇඳ පැළඳ අසුනක හිඳ සිටි මැදිවියේ කාන්තාවකගේ අත්බෑගයක් තුළිනි. කොන්දොස්තරවරයා ඇයට පැවැසුවේ කරුණාකර ඔබේ අත්බෑගයේ ඇති ජංගම දුරකථනය අතට ගන්නා ලෙසය. දුරකථනය සමඟම කුඩා පසුම්බිය ඇය කොන්දොස්තරට දුන්නේ විලිබරවය.
මෙය ඔබේ ද කොන්දොස්තරවරයා විමසීය. අනේ නැහැ. මමත් බැලුවේ කාගෙ ද මේක කියල. මේක බෑග් එකට කොහොම වැටුණා ද දන්නේ නැහැ. ඇය නිදහසට කරුණු ද ඉදිරිපත් කළාය.
කමක් නෑ කියා කොන්දොස්තරවරයා ජංගම දුරකථනය සහිත කුඩා අත්බෑගය අතට ගෙන එහි හිමිකාර ගුරුතුමියට දුන්නේය. ගුරුතුමිය සිනා සිසී රියැදුරා වෙත ළංවිය.
අනේ ඩ්‍රයිවර් මහත්තයා, මම ගුරුවරියක් වුණාට මට වඩා ඔයාට මොළේ තියෙනවා ඇය පවසද්දී බසයේ සිටි අයට සිනා පහළ විය.
කුඩා අත්බෑගයේ ජංගම දුරකථනයට අමතරව ගුරුතුමියගේ ජාතික හැඳුනුම්පත හා මාසික පඩිය ද තිබුණි. ඇය ඒවා ද අතට ගෙන පෙන්වා රියැදුරාට මුව නොසෑහෙන සේ තුති පුදා බසයෙන් බැස පැමිණි ත්‍රිරෝද රථයටම නැගී යන්නට ගියාය.
(බදුල්ලේ පාලිත ආරියවංශ)

