ගුරුවරිය සමඟ හාද වෙන්න ගිහින් රු 250ක් දන්දීලා


ඇල්පිටිය ප‍්‍රදේශයේ විවාහක ගුරු මහත්මියක වූ ඇය උසස්වීමක් සඳහා ඉසුරුපායට ගොස් ආපසු ගෙදර ඒමට මාතර බලා එන සුඛෝපභෝගී බසයකට නැග්ගාය. තම ආසනයේම වාඩිවූයේ කඩවසම් තරුණයෙකි. මඳ සිනාව කතාවකට පෙරැළී පසුව එය ක්‍ෂණික පෙම් සබඳතාවකට පෙරළණි. තමා එක්දරු මවක බව කීමට ඇය කීපවරක් තැත් කළ ද ඔහුගේ තොදොල් කතාව ඊට බාධාවක් විය. ඇල්පිටිය බස් නැවතුමෙන් බසින විට ඔහු තම ජංගම දුරකථන අංකය ඇය අත තැබුවේය. ගෙදර ගිය සැණෙන් ඇය සිය සැමියාට කතාව කියා මේ ඇමතුම් අංකය පෙන්වීය. ඔහු අපූරු යෝජනාවක් කළේය. යෝජනාවට අනුව ඇය සැමියාගේ ජංගම දුරකථනයෙන් ඔහුගේ අංකය අමතා මොහොතකින් ‘‘අයියෝ සල්ලි ඉවරයි. ඒත් දිගට කතා කරන්න ආසයි. මේකට රී ලෝඩ් එකක් දාන්න පුළුවන්ද’’ ඇසුවාය. ඔහු ඉහේ මලක් පිපුනා සේ ‘‘හරි මං ඔය අංකයට දාන්නම්’’ කීවේය. ඇය දුරකථනය සැමියාට දුන්නාය. මොහොතකින් එහි මූණතේ සටහන් වූයේ රුපියල් දෙසිය පනහක යළි පූරණයක් වූ බවය. නැවත දුර කථනය නාදවිය. එවිට සැමියා කතා කළේය. ඔහු තැතිගැන්මෙන් කතා කළ විට සැමියා ‘‘සොරි රෝන් නම්බර්’’ කියා බොත්තම එබුවාලූ.