ගුරුවරිය කණ්ණාඩිය ශීතකරණයට දමා පොල්බෑය පාසලට ගෙනත්


පාන්දරම අවදි වූ මව දරුවනට සහ තමාට ආහාර පිළියෙළ කිරීම සඳහා මුළුතැන්ගෙට පිවිසියාය. සහල් ලිපතබා ව්‍යංජන සෑදීම සඳහා එළවළු ශීතකරණයෙන් ඉවතට ගෙන, තම කණ්ණාඩි කුට්ටම පැළඳ ගත්තේ එළවළු සිහින්ව කපා ගැනීමටය. ඉක්මණට ආහාර සකසාගත්  ඕතොමෝ දරුවනට කෑම බෙදා තමාට පාසලට රැගෙන යෑමට පාර්සලයක් ඔතා ගත්තාය.


පාසලට පැමිණි ඇය පැමිණීමේ නාමලේඛනය අත්සන් කිරීම සඳහා කණ්ණාඩි කුට්ටම ගැනීමට අත්බෑගය විවර කළ විට මුලින්ම දක්නට ලැබුණේ පොල් බෑයකි. ‘‘මොකද අක්කේ මේ. අද හෝම් සයන්ස්වලට සම්බෝල හදනවාදැයි’’ යෙහෙළියක් විමසුවාය.


ඒක තමයි. පොල් බෑය ආවේ කොහොමද? යැයි පවසමින් අත්බෑගය මේසය මතට හැලූවත්, කණ්ණාඩි කුට්ටම දක්නට නොලැබිණි. උපැස් යුවළ නොමැතිව කිසිම දෙයක් කළ නොහැකි බව දන්නා ඇය වහාම ත‍්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණ කණ්ණාඩි කුට්ටම සෙව්වත් දැකගත නොහැකිවිය.

අවසානයේ දී තම අත්බෑගයේ තිබූ පොල්බෑය දැමීමට ශීතකරණය විවර කළ විට කණ්ණාඩි කුට්ටම එතුළ නිරුපද්‍රිතව තිබෙන අයුරු දැකගත හැකිවිය.
තමා හදිසියට පොල්බෑය වෙනුවට කණ්ණාඩි කුට්ටම ශීතකරණය තුළට දමා පොල්බෑය අත්බෑගයේ දමාගෙන පාසලට පැමිණ ඇති බව ඇයට අවබෝධ විය. මෙය කොළඹ නගරයේ සිදුවූවකි.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)