කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
පියාගේ ජංගම දුරකතනයේ අංකය යයි සිසුවා දී තිබූ අංකයට ගුරුවරයා ගත් ඇමතුමෙන් සිසුවාගේ කලිසම යටින් දුරකතනයක් නාදවූ පුවතක් දකුණු පළාතේ නගරයේ පාසලකින් අසන්නට ලැබේ.
උසස් පෙළ ඉගෙනුම ලබන මෙම සිසුවා දඩබ්බරයෙකි. විනය විරෝධි වැඩකොට පාසලේදී ගුරුවරුන්ට හසුවූ වාර අනන්තය. ඒවා සඳහා ගුරුවරුන්ගෙන් දඬුවම් ද ලැබ සිටී.
තමන් පාසලේ දී කරන වැරැදි පියා දැනගැනීමට අකැමැති වූ ඔහු ඒවා සිය පියාගෙන් වසන් කරගත්තේය. සිසුවා එදාත් පාසලේ දී කළ වැරැද්දක් පියාට දැන්වීමට පන්ති ගුරු භවතා සිතා ගත්තේය.
ඒ අනුව සිසුවාගෙන් පියාගේ දුරකතන අංකය ඉල්ලා සිටියේය .‘අනේ සර් මම ආයිත් වැරදි වැඩ කරන්නේ නැහැ.’ ගුරුවරයාට පිංසෙන්ඩු වූයේය. ‘හරි හරි මම අදට විතරක් තාත්තාට කියන්නේ නැහැ. කෝකටත් මට තාත්තාගේ ජංගම දුරකතන අංකය දෙන්න’ යැයි ඉල්ලා සිටියේය.
පියාට කතා නොකරන බවට ගුරුවරයා පොරොන්දු කරවාගත් සිසුවා ගුරුවරයාට ජංගම දුරකතන අංකයක් ලබාදුන්නේය. ටික දිනකින් නැවත වතාවක් මෙම සිසුවා විනය විරෝධි වැඩකට ගුරුවරයාට මාට්ටු වූවේය. ‘දැන් ඉතිං කරන්න දෙයක් නැහැ ඔහොම ඉන්නවකෝ මම තමුසෙගේ තාත්තාට කෙරුවාව කියන්නම්’ යැයි පවසමින් සිසුවා දී තිබූ ජංගම දුරකතනයට අංකයට ගුරුතුමා ඇමතුමක් ගත්තේය.
ඒ ඇමතුම ගත් සැණින් දුරකතනයක් නාදය වන හඬ ගුරුවරයාට ඇසුණේ තමාගේ අත් අඩංගුවේ සිටින සිසුවාගේ රහස් පෙදෙසින්ය. කරුණු වටහා ගත් ගුරුවරයා දුරකතනයත් සමග සිසුවා සම්බන්ධයෙන් ඉදිරි විනය කියා මාර්ග ගැනීමට විදුහල්පතිට යොමු කළේය.